/ Feb 13, 2026

පාස්පෝට් ඔෆිස් එක යථාතත්ත්වයට – සියලු සේවා සැපයීම යළි අරඹයි!

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස පැවසුවේ මේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවයි.

ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතුද මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකිරීම ආරම්භ කර තිබේ.

එමෙන්ම මේ වන විට කඩිනමින් නිකුත් කළ යුතු සහ ඉතාම අත්‍යවශ්‍ය සැපයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද සඳහන්.

දෙපාර්තමේන්තුවේ ශාඛා ජාලයන්හී කටයුතුද මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස සඳහන් කරයි.

ඊයේ (12) වැනි දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ ඇතිවූ හදිසි දෝෂයක් හේතුවෙන් එහි සේවා කටයුතු බිඳ වැටුණු අතර එම දෙපාර්තමේන්තුවේ සියලුම ශාඛාවන්හී සේවාවන්ද අඩාල විය. එම තත්ත්වය හේතුවෙන් ඉතා හදිසි නොවන අවස්ථාවලදී ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීම ලබන සතිය දක්වා කල් දමන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඇතිවූ හදිසි තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් එක්ව පියවර ගෙන ඇති අතර මේ වන විට එම කටයුතු යථා තත්ත්වයට පත් කර දෙපාර්තමේන්තුවේ සියලුම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරමින් යන බව මහේෂ් කරුණාදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top