දුම්රිය රියදුරන් විසින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය සඳහන් කළේ හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණය තාවකාලිකව නැවැත්වීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය මෙලෙස අත්හිටුවන බවයි.
යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණය හේතුවෙන් දුම්රිය රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබුණි.
කෙසේවෙතත් වර්ජනය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට යම් බලපෑමක් අහි වීමේ ඉඩක් පවතින හෙයින් ආණ්ඩුව සිය තීරණය තාවකාලිකව අත්හිටුවන බවට ප්‍රවාහන සහ මහාමාර්ග නියොජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.
ඒ අනුව දුම්රිය රියදුරු වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
මතුවූ තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ,
“ඇත්තටම අපි මේක පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. මොකද පහුගිය දිට්වා සුලි කුණාටුව පැවැති අවස්ථාවේදී යුද හමුදාව කොච්චර කැපවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට, ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, අමාත්‍යාංශයට කොච්චර උදව් කළාද කියලා අපි දන්නවා දැනටමත් අපි කෝච්චි පාරවල් හදන්න උදව් කරලා තියෙනවා, කෝච්චි එන්ජිං හදන්නත් ඒ ගොල්ලෝ දැන් මාස දෙකක් තිස්සේ රත්මලානේ උදව් කරනවා. යුද හමුදාවේ ඉංජිනේරුවෝ ඇවිල්ලා බේල් පාලම් හයි කරනවා එතකොට යුද හමුදාවේ සහභාගීත්වය කොච්චරද කියලා අපිට පේනවා. ඉතිං මේවගේ හදිසි අවස්ථාවකදි මේ වගේ කණ්ඩායමකට වෘත්තිය පුහුණුව තිබීමේ වටිනාකම අපි අත්වින්දා අමාත්‍යාංශයක් විදිහට. ඒ නිසා තමයි මේ 20 දෙනෙකුට මේ පුහුණුව ලබා දෙන්න අපි තීරණය කෙරුවේ. නමුත් හාරලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙනවා. එක ළමයෙකුට හරි අනවශ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා තමන්ගේ කඩඉම පසු කර ගැනීම සඳහා යම් කිසි ප්‍රවාහන අපහසුතාවයකට පත්වුණොත් ඒක අපිට දරාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තාවකාලිකව මේ පුහුණුව සඳහා යොදපු යුද හමුදා නිලධාරීන් 20 අපි නවත්වනවා.” යනුවෙනි.





