/ Feb 19, 2026

හොර ඔප්පු හැදූ පොහොට්ටුවේ නීතිඥයෙකුට වසර 10ක සිර දඬුවමක්!

හොර ඔප්පු 26ක් සකසා ඉඩම් අලෙවි කිරීමේ චෝදනාව මත විභාග කෙරෙන නඩු 26ක් අතරින් එක් නඩුවක තීන්දුව ලබාදෙමින් හලාවත මහාධිකරණය නීතිඥවරයකුට වසර 10ක සිර දඬුවම් නියම කර තිබේ.

එලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුටයි. ඊයේ (18) දින හලාවත මහාධිකරණය මෙම දඬුවම් නියම කා ඇත.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයකු වූ නීතිඥ ප්‍රනාන්දුට එරෙහිව මේ නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ 2011 ජුනි 07 වැනිදායි. එහි සඳහන්ව ඇත්තේ අක්කර 03, රූඩ් 02, පර්චස් 24ක ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් මීට අදාළ විමර්ශන සිදු කිරීමෙන් පසු, 2021 වසරේදී නීතිපතිවරයා විසින් නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුට සහ රම්පටිදේවගේ සමන් කුමාරට එරෙහිව හලාවත මහාධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකර තිබේ.

නඩුවේ තීන්දුව ලබාදෙමින් පළමු විත්තිකරු වූ සමන් කුමාර චෝදනා 03කට වරදකරු කරමින් වසර 10ක සිර දඬුවම් නියම කළ මහාධිකරණය, පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.

දෙවැනි විත්තිකරු වූ නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු ද චෝදනා 03කට වරදකරු බවට තීන්දු කළ මහාධිකරණය, ඔහුටද වසර 10ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් මෙන්ම රුපියල් ලක්ෂ 8ක වන්දියක් ද නියම කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top