වැඩි මිලට ඖෂධ විකිණීමේ චෝදනා මත මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්‍ෂෙප කරමින් කොළඔ මහාධිකරණය නිකුත් කළ නියෝගයකට එරෙහිව නාරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ඔවුන් විසින්ම අභියාචනාධිකරණයේදී පසුගියදා (17) ඉල්ලා අස්කර ගන්නා ලදී.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහෙන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් අදාළ අභියාචන පෙත්සම ඔවුන් විසින්ම එලෙස ඉල්ලා අස්කර ගෙන තිබේ.
මෙම පෙත්සම සමඟම ඉදිරිපත් කර තිබු තවත් පෙත්සමකට අදාළව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මීට පෙර අවස්ථාවක ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් පිළිගත් අභියාචනාධිකරණය උක්ත පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට නොගෙනම මීට පෙර අවස්ථාවක ප්‍රතික්‍ෂෙප කර තිබුණි.
එම රෝහලේ අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අනෙක් අභියාචන පෙත්සම යළි කැඳවු අවස්ථාවේදී ආසිරි පෞද්ගලික රෝහල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක කරුණු දක්වමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අපේක්‍ෂා කරන හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.
ආසිරි රෝහලේ අධ්‍යක්‍ෂවරුන් වන සභාපති අශොක් කාරියවසම්, අධ්‍යක්‍ෂවරුන් වන මංජුල ප්‍රසන්න කරුණාරත්න, හරීස් කුමාර් කයිමාල්, විශාල් බාලී, අංකූර් නාත් තදානී, සුදර්ශන් අහංගම, හරිෂ් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා සහ අජිත් කරුණාරත්න යන අය ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය, නීතීපතිවරයා සහ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිතරුවකු වන සනත් කුමාර අතුකෝරල නම් කර ඇත.
ඖෂධ නියාමක අධිකාරි පනත උල්ලංඝනය කරන ලදැයි චෝදනා කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තමන්ට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇතැයිද එම නඩුවට අදාළව පසුගිය ජනවාරි මාසයේදී මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගැනීමෙන් පසු රුපියල් 25000/-ක දඩ මුදලකට යටත් කළ බවද අභියාචනා පෙත්සමේ සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පැවරූ නඩුවකදී තමන් පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවට සඳහන් කර ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඉන් අනතුරුව අවස්ථාවකදී කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම් පතක් ඉදිරිපත් කරමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාගය ගැනීම වළකාලන ලෙස අතුරු නියෝගයක් ඉල්ලා සිටියත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ එම නඩුව කැඳවු 2025 සැප්තැම්බර් 25 වැනිදා අදාළ අතුරු නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කර ඇත.
සැප්තැම්බර් 25 වැනිදා පස්වරුවේදීම මාළිගාකන්ද උසාවියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී තමන් අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් තමන් අත්අඩංගුවට ගැනීමට මාළිගාකන්ද උසාවිය වරෙන්තු නිකුත් කළ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ මාළිගාකන්ද උසාවිය වරෙන්තු නිකුත් කිරීමේ නියෝගය මෙන්ම කොළඹ මහාධිකරණයෙන් අතුරු නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගයද ඉවත දමන්නැයි ඉල්ලා සිටිති.
මෙම පෙත්සම සමඟ ඉදිරිපත් කළ අනෙක් පෙත්සම සළකා බැලු අවස්ථාවේදී පෙත්සම්කාර පෞද්ගලික රෝහල වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා කරුණු දක්වමින් මාළිගාකන්ද උසාවියේ නියෝගය මෙන්ම කොළඹ මහාධිකරණයෙන් අතුරු නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගයද ඉවත දැමීමට නියම කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම් විභාග කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකාර ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනරාල් ලක්මිණී ගිරිහාගම කරුණු දක්වමින් අභියාචනා උසාවියක් දුන් නියෝගයකට එරෙහිව තවත් අභියාචනා උසාවියකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතීයේ ප්‍රතිපාදන සලසා දී නොමැති හෙයින් මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්‍ෂෙප කරන්නැයි ඉල්ලා සිටියාය.
දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකාර ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනරාල් ලක්මිණී ගිරිහාගම ඉදිරිපත් කළ විරෝධතාවය පිළිගත් අභියාචනාධිකරණය ආසිරි රෝහලේ අධ්‍යක්‍ෂවරුන් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමෙන් තොරවම ප්‍රතික්‍ෂෙප කළේය.
ඉන් අනතුරුව අනෙක් පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතීඥ රලිත අමරසේන සමඟ පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක කරුණු දක්වමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අපේක්‍ෂා කරන හෙයින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටින ලදී.
ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.
සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල වෙනුවෙන් නීතීඥවරුන් වන සරින්ද ජයවර්ධන, ඉෂාන් ජයසුන්දර සමඟ ජනාධිපති නීතීඥ සාලිය පීරීස් පෙනී සිටියේය.





