/ Feb 20, 2026

අකුරේගොඩ ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි. වෙඩික්කරුවෙකුත් හදුනා ගෙන!

අකුරේගොඩදී නීතිඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී සොයා ගනු ලැබූ අතර අපරාධය සඳහා ගිනිඅවි ලබා දීමට පැමිණි රථය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි.

මේ අතර වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථය අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බවද අමාත්‍යවරයා අද පවසන ලදී.

ඒ අනුව එහි හිමිකරු හඳුනා ගෙන ඇති බවද විජේපාල මහතා පැවසුවේය.

”ඒ වගේම මෙම අපරාධය සිදු කිරීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබූ සැකකරු අංක 102/9, පන්සල පාර, රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩික්කරුවන් අපරාධය සිදු කිරීමට ප්‍රථම නවාතැන්පොළ වෙත කැඳවා ගෙන පැමිණි රථයේ හිමිකරු රසික නිවස, පරණ කොළණිය ඇත්කඳුර, ගාල්ල නිවසේ පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර යන අය බව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු සහ අදාළ රථය අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම අපරාධය සම්බන්ධයෙන් මෙතෙක් කර තිබෙන විමර්ශනවලට අනුව විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ටුටූ” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුශංක නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top