පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ උපන්දිනය දවසේ දේශපාලන කතාබහක්ද සිදුවී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ සමගි වීම පිළිබඳවයි.
රවිගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 19 වැනිදාට. එදින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී කෙටි චාම් උපන් දින සැමරුමක් පැවති අතර එය රවිට දැනුම් නොදී සංවිධානය කිරීමට සමගි ජන බලවේගය තීරණය කිරීම විශේෂත්වයක්.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකගේ උපදෙස් අනුව එය සංවිධානය කර තිබුණේ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා විසින්.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතළිස් දෙනකු පමණ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම කෙටි උපන්දින සැමරුමට එක් වී සිටියා.
රවී කරුණානායක පැමිණි පසු මෙහි සිටි මන්ත්‍රීවරුන් Happy birthday to you රවී කියමින් ඔහුට සුභ පැතූ අතර උපන්දින කේක් ගෙඩි දෙකක්ම ගෙනවිත් තිබුණේ පැමිණ සිටි සියලුම දෙනාට කේක් ලබාදීමටයි.
කේක් කැපීමෙන් අනතුරුව රවී මුල්ම කේක් කෑල්ල කැවුවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට.
ඉන් අනතුරුව රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද රවී විසින් කේක් කවනු ලැබුවා.
රවීට සුබ පතමින් සජිත් ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයක් එක් වීම ගැන සමාජය තුළ විශාල උනන්දුවක් පවතින බවයි.
ඒ වෙනුවෙන් එම පක්ෂ දෙකේ සියලුම දෙනා මේ අවස්ථාවේදී කැපවී සිටීම අගය කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කළා.
රවී කරුණානායක ද ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ මෙම පක්ෂ දෙකට එකතු වී රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකිරීමට හැකි බවයි. එය ජනතාව බලාපොරොත්තු සිටින බවත් අනිවාර්යයෙන්ම මෙම පක්ෂ දෙකේ සාමාජිකයින් මේ වන විටත් එකතුවෙමින් සිටින බවත් රවි විසින් පෙන්වා දුන්නා.
මෙම කෙටි චාම් උපන්දින උත්සවය සංවිධානය කරන ලද සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂයේ සමගිය සහ එකමුතුභාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපන් දින සඳහා මෙවැනි කෙටි චාම් සැමරුම් උත්සව දිගටම සංවිධානය කිරීමට කටයුතු කරන බවයි.








