/ Mar 03, 2026

යුද ගින්න – ඉන්ධන ප්‍රශ්නය ගැන ජනපති කියයි

අද (3) දින පාර්ලිමේන්තුව ඇමතූ ජනපති අනුර කුමාර දිසානායක මැදපෙරදිග ඇවිළෙන යුද ගැටුම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළේ ය.

යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම්, මඟ පෙන්වීම් කළ යුතු බව අවධාරණය කළ ජනපතිවරයා, යුදමය තත්ත්වය තුළ ලංකාවේ ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි බවත් හුදකලාව එයින් මිදීමට අපට හැකියාවක් නොමැති බවත් කියා සිටියේ ය.

ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් රටක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග සහ වැඩපිළිවෙලක් සකස් කරගන්නා බව ද ජනපතිවරයා පවසයි. කෙසේ වෙතත් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් තෙල් සහ ගෑස් සැපයුමට බාධා ඇති විය හැකි බවත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විශාල ගැටලුවක් ඇති වන බවද පැවසු ජනාධිපතිවරයා, සංචාරක කර්මාන්තයට, විදෙස් ප්‍රේෂණ , නාවික හා ගුවන් කර්මාන්තයන්ට ද බලපෑම් එල්ල වන බව පැවසීය.

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව මෙවැනිම අභියෝග රැසකට ඉතා සාර්ථකව මුහුණදුන් බවත් මැදපෙරදිග ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝගය මින් පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් බවත් පැවසු ජනාධිපතිවරයා, වර්තමාන යුද තත්ත්වය කෙසේ විසඳාගත හැකිද යන්න පිළිබඳව ඇත්තේ අවිනිශ්චිතභාවයක් බවද සඳහන් කළේය.

ඉන්ධන සම්බන්ධයෙන් මතුවිය හැකි තත්වයන් ගැනද ජනපතිවරයා සිය අදහස් දැක්වීමේදී අවධානය යොමු කළේ ය.

“අපිට ප්‍රධාන ප්‍රශ්නය තමා ගබඩාවල තිබෙන ධාරිතාව. මාස දෙක තුන තරම් කාලයක් තෙල් ගබඩා කිරීමට ධාරිතාවයක් අපේ ගබඩාවල නෑ. අපේ ගබඩා හැමවෙලේම කරන දේ තමා ඊළඟ නැව එනවිට ඒ තෙල් ගබඩා කිරීමට ගබඩා හිස් කරනවා. ගබඩා පුරවගෙනම ඉන්න බෑ. ත්‍රිකුණාමලයේ තියෙන IOC ගබඩා ටික අතහැරියොත් කෙළොන්නාවේ සහ මුතුරාජවෙල මුළු ගබඩා ධාරිතාව 150,000ක් විතරයි. හැබැයි ඒ ප්‍රමාණයම තියාගෙන ඉන්න බෑ. ඊළඟ නැව එද්දි ගබඩාව හිස් කරගන්න ඕන. ඒ නිසා නැව් එන පිළිවෙලට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් එක්ක තමා අපි ඉන්නේ. 103,000ක් ගබඩා පිරිලා තිබුණේ. දෛනික පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1,800ක් පිරිලා. අපි හොඳ සැලැස්මක හිටියා. ඒ අනුව අපිට දින 33කට අදාළව ඩීසල් තියෙනවා. 

යනුවෙන් කියා සිටි ඔහු, අප වෙත ඇත්තේ තෙල් නැව් එනවිට ගබඩා හිස් කර ගැනීමේ සැලැස්මක් බව කියා සිටියේය. තව දින කිහිපයකින් තෙල් මෙට්‍රික් ටොන් 35000ක නැවක් අප රට වෙත ළඟා වෙන බවද ජනපතිවරයා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top