බලාපොරොත්තු වූවාට වඩා කලින් ඉරාන යුද්ධය අවසන් වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය අපේක්ෂා කළ කාලයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇති අතර මේ වන විටත් යුද්ධය සම්පූර්ණ වී ඇති බවයි.
ඉරානය සතුව නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් මෙන්ම සන්නිවේදනයක් ද නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන අතර මේ වනවිට ඔවුන්ගේ මිසයිල විසිරී ගොස් ඇති බවද ඔහු පවසා තිබේ.
යුදමය තත්ත්වය ගැන ඇමරිකානු රිපබ්ලිකන් නීති සම්පාදකයින් වෙත ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණේ ඉතා නපුරු මිනිසුන් කිහිපදෙනෙකු ඉවත් කිරීම සඳහා ඉරානයේ කෙටි කාලීන මිලිටරි මෙහෙයුමකට එක්සත් ජනපදය ඇදගෙන ගොස් ඇති බවයි.
ඔහු තවදුරටත් මෙසේ පැවසීය. “අපි දැනටමත් බොහෝ ආකාරවලින් ජයග්‍රහණය කර ඇත්තෙමු, නමුත් අපි ප්‍රමාණවත් තරම් ජයග්‍රහණය කර නැත” යනුවෙනි.
මේ අතර ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්ව සිටින මොජ්ටාබා කමෙනි සම්බන්ධයෙන්ද තමන් සතුටු නොවන බවද ට්‍රම්ප් කියා තිබේ.
කෙසේවෙතත් ටෙහෙරානයේ උත්තරීතර නායකයාගේ කාර්යාලයේ විදේශ ප්‍රතිපත්ති උපදේශක කමල් කරසි අනතුරු අඟවා ඇත්තේ එක්සත් ජනපදය සමඟ දිගු යුද්ධයකට සූදානම් බවටයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැටුමෙන් ඉවත් වන ලෙස ඒත්තු ගැන්වීම සඳහා ගල්ෆ් රටවලට පහර දීම දිගටම කරගෙන යාමට කැමැත්තෙන් සිටින බව ඔහු සංඥා කර තිබේ.
එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ මෙම ආක්‍රමණකාරී ක්‍රියාපිළිවෙත හේතුවෙන් සෙසු රටවලට දැනෙන ආර්ථික පීඩනය වළක්වා ගැනීමට නම් යුද්ධය සම්බන්ධයෙන් ගල්ෆ් කලාපයෙන් පිටත කලාපයට ද මැදිහත්වීමට සිදුවනු ඇති බවයි කමල් කරසි පෙන්වා දී ඇත්තේ.
“මෙම යුද්ධය උද්ධමනය, බලශක්ති හිඟය වැනි අනෙකුත් රටවලට විශාල පීඩනයක්, ආර්ථික පීඩනයක් ඇති කරමින් පවතී. එබැවින් එය දිගටම පැවතුනහොත්, මෙම පීඩනය තවත් වැඩි වනු ඇති අතර, එබැවින් අනෙක් අයට මැදිහත් වීමට හැර වෙනත් විකල්පයක් නොමැත,” යනුවෙන් ඔහු පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යුද්ධය දියත් කළ දා සිට, ඉරානය මැද පෙරදිග රටවල් ගණනාවකට පහර දී තිබේ. ගල්ෆ් රටවල එක්සත් ජනපද නියෝජනයන් ඉලක්ක කර ගනිමින් ටෙහෙරානය ප්‍රහාර දියත් කළ අතර නේවාසික ගොඩනැගිලි සහ ගුවන්තොටුපළවල් ද නැවත නැවතත් ප්‍රහාරයට ලක්විය.
ඉරාන ප්‍රහාර මගින් යටිතල පහසුකම් සහ ප්‍රවාහන මාර්ග ඇතුළු ගෝලීය බලශක්ති වෙළඳාමේ අස්ථාවරත්වය මතුව තිබෙන අතර හෝමූස් සමුද්‍රීය මාර්ගයේ ගමනාගමනය බොහෝ දුරට කඩා වැටී ඇති හෙයින් ඊයේ දිනය වන විට බොරතෙල් මිල බැරලයකට ඩොලර් 100 ඉක්මවා ගෙවීමට සිදුව තිබේ.





