/ Apr 07, 2026

මව්බිම සේවකයන්ගේ අවුරුදු – ටිරාන්ගේ මකර කටේ!

හිටපු ඇමැති ටිරාන් අලස්ට අයත් සිලෝන් නිව්ස්පේපර්ස් ආයතනය යටතේ පවත්වාගෙන යන “මව්බිම” හා “සිලෝන් ටුඩේ” පුවත්පත් ආයතනවල සේවකයෝ වැටුප් හා සේවක අර්ථසාධක (ඊ.පී.එෆ්) දායක මුදල් නොගෙවීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.

සේවකයන් පවසන්නේ, මාස තුනකට අධික කාලයක් වැටුප් නොලැබීමෙන් ඔවුන්ගේ දෛනික ජීවිතය දැඩි පීඩාවට පත්ව ඇති අතර, වසර ගණනාවක් පුරා සේවක අර්ථසාධක දායක මුදල් ද ගෙවීම පැහැර හැර ඇති බවයි. සිංහල අලුත් අවුරුදු සමයට තවත් ඇත්තේ දින කිහිපයක කාලයක් වුවත්, මේ දක්වා ඔවුන්ට වැටුප් ලබා දී නැති බැවින් ඔවුන් පත්ව ඇත්තේ බලවත් අපහසුතාවකටයි.

මෙය කම්කරු නීති ඍජුව උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දෙමින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතත් තවමත් සාර්ථක විසඳුමක් නොලැබී ඇතැයි ද සේවකයෝ චෝදනා කරති.

තත්ත්වය තවත් උග්‍ර කරමින්, “මව්බිම” දිනපතා පුවත්පත පසුගිය මාර්තු 5 දින හදිසියේ වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇති අතර, ඒ හේතුවෙන් සේවකයන් හා ඔවුන්ගේ පවුල් රැසක් බරපතළ ආර්ථික පීඩනයකට මුහුණ දෙමින් සිටිති.

මෙම ගැටලුව පිළිබඳව අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබුණද, ගිණුම් හා මානව සම්පත් අංශවලින් පැහැදිලි පිළිතුරු ලබා දීමට අපොහොසත් වී ඇතැයි සේවකයෝ පවසති.

“සිලෝන් ටුඩේ” මාධ්‍යවේදී මිතුන් ජයවර්ධන විසින් කම්කරු කොමසාරිස්වරයා වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පැවැත්වූ විභාගයට ආයතන පාලනාධිකාරිය නොපැමිණීමත් විවේචනයට ලක්ව ඇත.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ආසන්න කාලයක මෙවැනි තත්ත්වයක් උදා වීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ රජය වහාම මැදිහත් වී මෙම ගැටවට සාධාරණ විසඳුමක් ලබා දිය යුතු බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top