බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව සජබ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් භාරදෙන ලද්දේ මාර්තු 18 වනදා ය.
නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා ප්‍රමාණවත් සහ ගුණාත්මක ගල් අඟුරු ප්‍රම්පාදනය සහතික කිරීමේ රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හරහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය අමාත්‍ය තනතුරේ වගකීම උල්ලංඝනය කර ඇති හෙයින් ඔහු එම තනතුරෙන් ඉවත් කළයුතු බවට අදාළ විශ්වාසභංගයෙන් යෝජනා කර ඇත.
කෙසේවෙතත් මේ ගල් අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් වුණු නවතම විගණන වාර්තාවකින් දැක්වෙන්නේ නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් 9 හේතුවෙන් ගල් අඟුරු අධිපරිභෝජනයෙන් සිදු විය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් යැයි දැනට ඇස්තමේන්තු කර ඇති බවයි. බාල ගල් අඟුරු හේතුවෙන් අඩුවන විදුලි ප්‍රමාණය ඩීසල් භාවිතයෙන් උත්පාදනය කිරීමට සිදුවන බැවින් ඒ සඳහා වැයවීමට නියමිත මුදල ද එකතු වූ විට මෙයින් රජයට සිදුවනු ඇති සමස්ත පාඩුව මීට වඩා අතිවිශාල මුදලක් වනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සඳහන් කර තිබේ.





