”අපේ වැඩේ අපි කළා දැන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ වැඩේ. ඔයගොල්ලන්ගේ වැඩේ හරියට කරන්න” යනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පත්වීම් ප්‍රදානයකට එක්වෙමිනි.
මෙම පත්වීම් ලබා දීමේදී කිසිම අයුරකින් දේශපාලන මැදිහත්වීමක්, ඇඟිලි ගැසීමක් සිදු නොවුණු අතර දෙපාර්තමේන්තුව විසින් නිසිපරිදි එය සිදුකර තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
”තාමත් සමහර ඔෆිස් වල හරියට වැඩ වෙන්නේ නැහැ. වැඩේ කරන්න කීයක් හරි දෙන්න ඕනේ. සමහර රාජ්‍ය සේවයේ අය ජනතාවටත් උඩින් ඉන්නව වගේ තමයි පෙන්නේ. ඒ නිසා මේක වෙනස් කරගන්න ඕනේ. ඒක තමයි ඔයගොල්ලන්ගේ වගකීම. අපි උත්සහ කරනවා දේශපාලන පැත්ත හදන්න. අපි කිසිම මැදිහත්වීමක් කළේ නැහැ. අපිට ඕන උනේ පත්වීම් ටික දෙන්න. දෙපාර්තමේන්තුවේ කට්ටිය ඒක හරියට කළා. ඒ ගෞරවය ඒගොල්ලන්ට තියෙනවා. අපි කළේ ඒකට ඇඟිලි ගහන්නේ නැතුව හිටපු එක. කිසිම දේශපාලන මැදිහත්වීමක් අපි කරලා නැහැ. එහෙම කළොත් නිලධාරීන්ගේ ඔලුවටත් යනවා මේගොල්ලෝ දේශපාලන වෙනසක් කරන්න ආවා කියල කිව්වට ඒගොල්ලොත් එහෙම තමයි කියල මේගොල්ලන්ගේ ඔලුවටත් යනවා. එතකොට කොහොමද මේ අයත් එක්ක අපි වැඩ කරන්නේ. මේ වැඩේ පරණ වැඩක් වගේ වුණා නම් ඔයාල ඔක්කොම ඉන්නේ නුවර දිස්ත්‍රික්කයෙන්. මොකද මගේ ජන්ද දිස්ත්‍රික්කය නුවර නිසා. ඉස්සර එහෙමනේ වෙලා තියෙන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.






