පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු රැසක් ඊයේ (10) දින පාර්ලිමේන්තුවේදී හෙළි කරනු ලැබීය. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසිනි.
පාස්කු ප්‍රහාරයට සති තුනකට පමණ පෙර, මුස්ලිම් ජාතිකයන් සිව්දෙනෙකු යොමු කර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහභාගි වන පුද්ගලයන්ගේ සංඛ්‍යාවන් ඇතුළු සංවේදී තොරතුරු රැස් කිරීමට කටයුතු කිරීම.
මෙම තොරතුරු රැස් කිරීමට යොමු කළ පුද්ගලයන් අතර සිටි ප්‍රධානියාගේ ඡායාරූපය, සාක්ෂිකරුවෙකු විසින් අපරාධ වාර්තා කොට්ඨාසයේ (CRD) ඉස්ලාම් අන්තවාදීන්ගේ ඡායාරූප අතර තිබී හඳුනාගෙන ඇත. එම පුද්ගලයා ISIS මතවාදය දරන්නෙකු බවටත්, ප්‍රහාරයෙන් පසු මේ දක්වා අතුරුදන් වී ඇති බවටත් තහවුරු වී තිබේ.
සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හීද් ජමාත් (NTJ) සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට, පානදුර ප්‍රදේශයේ පදිංචි යුද හමුදා බුද්ධි තොරතුරුකරුවෙකු විසින් දැනුවත් කර තිබියදීත්, එය නොසලකා හැරීමෙන් ප්‍රහාරයට අවකාශ සැලසී ඇත.
ප්‍රහාරය යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බව එම තොරතුරුකරු විසින් දැනුම් දීමෙන් පසු, ඔහුව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිට පසුව මුදාහැර ඇත. ඉන් අනතුරුව සුරේෂ් සලේ මහතා කොළඹ ගලදාරි හෝටලයේදී ඔහුව හමුවී සමාව අයැද සිටි බවද අනාවරණය වී ඇත.
මොහොමඩ් නිලාම් මොහොමඩ් හන්සීර් හෙවත් ‘අසාද් මවුලානා’ විසින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට හෙළි කළ කරුණු අනුව, මෙම ප්‍රහාර මාලාවට අවශ්‍ය පසුබිම සැලසුම් සහගතව සකස් කළේ තුවාන් සුරේෂ් සලේ විසින් බව තහවුරු වී තිබේ.






