සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ මෙම සංශෝධන නියෝග නිකුත් කර ඇති අතර, ඒවා ජුනි 23 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
නව සංශෝධන අනුව, සීනි අන්තර්ගත දියර ආහාරවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේත ලාංඡනවල සැලසුම සහ ප්‍රදර්ශන ආකාරය පිළිබඳ නව නියමයන් හඳුන්වා දී තිබෙන අතර වීදුරු බෝතල්වල ඉඩකඩ සීමිත අවස්ථාවල භාවිත කළ හැකි විකල්ප ලාංඡනයක් ද හඳුන්වා දී ඇත.
මෙම සංශෝධන මඟින් “ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට” (Business to Business) සැපයෙන ආහාර නිෂ්පාදන සඳහා ද නව අර්ථ නිරූපණයක් ඇතුළත් කර තිබේ.
එවැනි නිෂ්පාදන සෘජුව පාරිභෝගිකයන්ට අලෙවි නොකර තවදුරටත් සැකසුම්, පිළියෙළ කිරීම හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිත කරන ආහාර ලෙස අර්ථ දක්වා ඇත.
නියෝගයට අනුව මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 8.0ට වැඩි බීම සඳහා රතු වර්ණයත්, ග්‍රෑම් 2.5 සිට 8.0 දක්වා ඇම්බර් වර්ණයත්, ග්‍රෑම් 2.5ට අඩු බීම සඳහා කොළ වර්ණයත් යොදාගත යුතු බව නව උපලේඛනයේ දක්වා ඇත.








