මාධ්‍යවේදී ලහිරු දොලොස්වල මහතා ගමන් කළ වාහනය හා යුද හමුදාපතිවරයාගේ පරිවාරක රථයක් අතර සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකින් එම සංගමය සඳහන් කර ඇත්තේ අනතුරෙන් පසු දොලොස්වල මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් තර්ජනය කර හිරිහැර කළ බවයි.
සිද්ධිය වීඩියෝගත කිරීම වළක්වා එය මාධ්‍යයට හෙළි නොකරන ලෙස බලපෑම් කළ බවත් එහි දැක්වේ.
වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් කිරීමේදී ද හමුදා පිරිසක් මැදිහත්ව පැමිණිල්ලට බාධා කළ බව සංගමය චෝදනා කරයි.
එමෙන්ම පැමිණිල්ලේ අන්තර්ගතය විකෘති කර අත්සන් ලබාගත් බවත්, ජංගම දුරකතනයේ තිබූ දර්ශන බලහත්කාරයෙන් මකා දැමූ බවත් ලිපියේ සඳහන් වේ.
මෙම සිදුවීම මාධ්‍ය නිදහසට සහ පුරවැසි මූලික අයිතිවාසිකම්වලට බරපතළ තර්ජනයක් බව සංගමය පෙන්වා දෙයි.
ඊට සම්බන්ධ සියලු හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා ඍජුව මැදිහත්ව නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතු බවද එම සංගමය අවධාරණය කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳ තම සංගමය ද දැනුවත් කරන ලෙසද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මානෙල් ඩේවිඩ්






