/ Aug 11, 2026

කොලොම්බියාවේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා වැඩි වෙයි.තවත් 100කට වැඩි පිරිසක් අතුරුදහන්!

බටහිර කොලොම්බියාවේ සිදුවූ භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 570කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් සියයකට වැඩි පිරිසක් අතුරුදහන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමි කම්පාව කැලි, පෙරෙයිරා, ක්විබ්ඩෝ සහ මැනිසාලෙස් ඇතුළු බටහිර කොලොම්බියාව පුරා නගර විනාශ කළ තිබෙන අතර අසල්වැසි ඉක්වදෝරය සහ පැනමාවට ද දැනී තිබේ.

රිච්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් සටහන් වූ මෙම භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය පවසයි.

මෙම භූකම්පනය වසර ගණනාවකට පසු එරටට බලපෑ විශාලතම භූකම්පනය ලෙස සැලකෙයි.

කෙසේවෙතත් මේ වන විට කොලොම්බියාව තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි දැක්වෙන්නේ.

පවතින තත්ත්වය මත පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන ඇත.

එමෙන්ම මෙම භූකම්පනය කොලොම්බියාවේ පළාත් නවයකට සහ පළාත් අගනගර 32කට දැනී ඇති බව එරට ආපදා කළමනාකරණ ආයතනය දක්වා ඇත.

පැය කිහිපයක් ඇතුළත අවම වශයෙන් පසු කම්පන 21 ක් ඇති වී තිබෙන බවද සඳහන්. මේ වන විට පළමු ප්‍රමුඛතාවය දී ඇත්තේ සුන්බුන් යට සිරවී සිටින ජනතාව බේරා ගැනීමටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top