/ Aug 11, 2026

අලි-මිනිස් සහජීවනය තහවුරු කිරීම උදෙසා වූ නොනවතින මෙහෙයුම!

හෙට (12) දිනට යෙදෙන ජගත් අලි දිනයේ දී පාරිසරික පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වන, වන අලින්ගේ සුරක්ෂිතතාව හා පැවැත්ම වෙනුවෙන් මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත. ආසියානු අලියා (Elephas maximus maximus) යනු හුදෙක් අපේ ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා පමණක් නොව, සමස්ත පරිසර පද්ධතියේම පැවැත්ම තීරණය කරන අද්විතීය ‘ඡත්‍ර විශේෂයක්’ (Umbrella Species) ලෙස සැලකේ. ඒ අනුව අලි ඇතුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම යනු අපගේ සමස්ත ජෛව විවිධත්වය, ස්වාභාවික පරිසර පද්ධතිය, සංචාරක කර්මාන්තය, ජාතික ආර්ථිකය මෙන්ම අනුපමේය සංස්කෘතික දායාදයද එකලෙස සුරැකීමයි.

වසර ගණනාවක් පුරා මෙරට පැවැති අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලිය ස්වාභාවික සංචරණ මාර්ග සහ අලි මංකඩවල් අවහිරවීම, පාරිසරික මායිම් විධිමත් ලෙස කළමනාකරණය නොකිරීම සහ ගෝලීය දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම හේතුවෙන් අලි-මිනිස් ගැටුම අද වන විට සමාජීය හා ආර්ථික අර්බුදයක් බවට පත්වීම වැළැක්විය නොහැකියි. පවතින ගැටලුව සඳහා අතීතයේ මෙන් තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට, ගරු ජනාධිපතිතුමාගේ සෘජු උපදෙස් හා මගපෙන්වීම යටතේ ස්ථිර, විද්‍යාත්මක සහ තිරසාර විසඳුමක් ලබාදීමට ලංකා ඉතිහාසයේ පරිසර අමාත්‍යංශය වෙත විද්‍යාත්මක පදනමින් යුතුව ඒකාබද්ධ කරන ලද ආයතනවල සහයෝගයෙන් කැපවීමෙන් කටයුතු කර ඇති අතර එය තව තවත් නව යෝජනා හා ප්‍රායෝගික වැඩපිළවෙල සමඟ නොකඩවා සිදු කෙරෙමින් පවතී.

වන අලින්ගේ සංචරණ රටාවන්ට බාධා නොවන පරිදි හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් වැටහිරකන්ද, හදපානාගල සහ කොහොලංකල යන අලි මංකඩවල් තුනක් නිල වශයෙන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර විවෘත කර ඇති අතර, ඉදිරියේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි මංකඩ නිදහස් කිරීමට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

වන අලින්ගේ ස්වාභාවික ආහාර හා ජල අවශ්‍යතාවන් වනාන්තරය තුළදීම සපුරාලීම සඳහා කලාවැව සහ තබ්බෝව වැව් ආශ්‍රිතව පැතිර පැවැති ආක්‍රමණශීලී ශාක ඉවත් කර අලි සුපෝෂණ කලාප සහ නව තණපිටි නිර්මාණය කිරීමේ විශේෂ ක්‍රියාවලියක් මේ වන විටත් සාර්ථකව සිදු කර ඇත. අනෙකුත් වැව් ආශ්‍රිතවත් මෙම කටයුත්ත සිදු කෙරෙමින් පවති. විශේෂයෙන්ම ලංකාවේ දෙවැනි විශාලතම වනාන්තරය වන නිල්ගල ඇතුළු “වනස්පති” ජාතික වැඩසටහන ඔස්සේ සුරක්ෂිත කරන ලද වනාන්තරයන්හි පෝෂණ ප්‍රදේශ සක්‍රීය වීමත් සමග වන අලින් රක්ෂිත තුළම රැඳී සිටීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, එමගින් වන අලින් ගම්වැදීමේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට හැකි වී තිබේ. ඊට අමතරව රක්ෂිත වනාන්තර තුළ පවතින වැව් ඇතුළු ජල මූලාශ්‍ර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද සිදු කෙරේ.

පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ආශ්‍රිතව මද කිපුණු අලි ඇතුන් දම්වැල්වලින් මුදා උන්ට වඩාත් නිදහස් හා ස්වාභාවික පරිසරයක හැසිරීමට අවස්ථාව සලසා දෙන ආසියාවේ ප්‍රථම”නිදහස් අලි අරණ” විවෘත කිරීම නව රජයේ තවත් සත්ව සුබසාධන සුපෝෂිත පියවරකි. ලංකාවේ හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංස්කෘතික කටයුතු සදහා ලබාදීම සම්බන්ධව ක්‍රමවේදයක් සකස් කිරීම උදෙසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කෙටුම්පත් කර ඇති, ”2026 ඇතුන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා බලපත්‍ර දීම ” සම්බන්ධ රෙගුලාසි නැවත සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත්, හීලෑ අලි ඇතුන් සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා යොදා ගැනීම, එම කටයුතු සඳහා ලබාදීමේ ක්‍රම වේදය සහ අලි ඇතුන්ගේ සුභසාධනය සම්බන්ධ කරුණු පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහාත් පරිසර අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, නීති ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු) සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර කඩිනමින් ඒ සඳහාද නීත්‍යානුකූල විසඳුම් ලබා දීමට නියමිතය.

මෙම කෙටිකාලීන පියවරයන්ට සමාන්තරව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අලි වැට සහායක නිලධාරීන් බඳවා ගනිමින් මානව සම්පත ශක්තිමත් කර ඇති අතර, ඒ වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 5,000 ක් සහ බහුකාර්ය සංවර්ධන නිලධාරීන් බඳවා ගනිමින් අවශ්‍ය වාහන ඇතුළු භෞතික සම්පත් ද කඩිනමින් ලබා දී ඇත. අයවැය මගින් වෙන් කරන ලද විශාල ප්‍රතිපාදන යොදවමින් පරිසර අමාත්‍යාංශයේ සියලු ආයතන එකාබද්ධව විධිමත් නව අලි වැට ඉදිකිරීම නොකඩවා සිදු කෙරේ. තවද, අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා දුම්රියන්හි ටර්මිනල් කැමරා පද්ධති සවි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ගල්ඔය-ත්‍රිකුණාමලය, ගල්ඔය-මඩකලපුව, උතුරු සහ මන්නාරම දුම්රිය මාර්ග දෙපස වන විශේෂ සංඥා පුවරු ද සවි කර ඇත.

තුවාල ලැබූ සහ රෝගී වන අලි සඳහා කඩිනම් ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වන අලි ප්‍රමුඛ කරගත් ජංගම රෝහල් සේවාවක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටී. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය ආයතනික, තාක්ෂණික හා සම්පත්මය සහාය පරිසර අමාත්‍යාංශය මඟින් ලබාදීමට කටයුතු කරනු ලබයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පරිසර විශේෂයින්, විද්වතුන්, පාරිසරික සංවිධාන ඇතුළු සියලුම ප්‍රජාවගේ අදහස් හා යෝජනාවලට සාධනීය ලෙස අවධානය යොමු කරමින් ජනතාව සහ සතුන් වෙනුවෙන් බියෙන් හා සැකයෙන් තොර වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා විධිමත් හා විද්‍යාත්මක දිගුකාලීන ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා පරිසර අමාත්‍යංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු නියෝජිතයන් සහ අමාත්‍යවරුන්ගෙන් සමන්විත අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සදහා විශේෂඥ හා අධීක්ෂණ කමිටුවක් පත් කර ඇති අතර, ඒ ඔස්සේ ලබා ගන්නා උපමානයන් මගින් නවීන ක්‍රමවේදයන් ද උපයෝගී කරගනිමින් අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

අනාගත පරපුර උදෙසා රටේ වටිනා වනජීවී සම්පත සුරක්ෂිත කරන අතරම, ගැටුම් පවතින ප්‍රදේශවල මානව ජීවිත හා දේපළ ආරක්ෂා කරමින් අලි-මිනිස් සහජීවනය තහවුරු කිරීම රජයේ තිරසාර ජෛව ගෝලයක් සදාහරිත ජීවිතයක් ප්‍රතිපත්තියේ ප්‍රායෝගිකත්වයයි. මෙම ජාතික කර්තව්‍යය සාර්ථක කර ගැනීම උදෙසා විද්වතුන්ගේ, නිලධාරීන්ගේ සහ සමස්ත ලෝකවාසී, ලංකාවාසී ජනතාවගේ සක්‍රීය දායකත්වය ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top