නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා කඩිනමින් වන්දි ලබා දීමේ කටයුතු ආරම්භ කර තිබෙන අතර වී වගාව බඩඉරිඟු වගාව ඇතුළු වගා කිහිපයක් වෙනුවෙන් අක්කර පහක උපරිමයකට යටත්ව නොමිලයේම වන්දි ලබා දීම සිදුකරන බව කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි පැවසීය.
නියඟයෙන් පීඩාවට පත් ගොවියන්ට කඩිනමින් සහන ලබා දීම මෙහි අරමුණ බවයි සභාපතිවරයා සඳහන් කළේ.
මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, අනුරාධපුර ආදී දිස්ත්‍රික්කවල වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට හානි සිදුවී ඇති බව දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව සමස්ත අක්කර 6000කට පමණ හානි සිදුව ඇති බව සඳහන්.
ඒ අනුව වී, බඩ ඉරිඟු,අර්තාපල්, සොයා, ලොකු ලූනු, මිරිස් යන වගාවන් සඳහා මෙම වන්දි ලබා දීම සිදුකරයි.
මෙහිදී අක්කර පහක උපරිමයක් දක්වා කෘෂි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණය වීමක් අවශ්‍ය නොවන අතර නොමිලයේම එම වන්දි ලබා දීම සිදුකරන බවයි ජාසිංහආරච්චි මහතා කියාසිටියේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී ගොවියන් සිය වගා හානි දැනුම් දීම සිදුකරන ලෙසත් නැතහොත් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයෙහි වගා හානිය සටහන් කිරීම හෝ සිදුකරන ලෙසත් සභාපතිවරයා පැවසූ අතර වගා හානි නිරීක්ෂණ කිරීම දැනටමත් නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරු විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීම මඟින් ගොවි මහතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.






