නාමල් රාජපක්ෂ දූෂණයෙන් තොර සාන්තුවරයෙකු මෙන් වෙස්වලාගෙන සමාව සෙවීමට උත්සාහ කරමින් සිටින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පැවසුවේය.
කෙසේවෙතත් කෝවිලක්,පල්ලියක්,පන්සලක් ගානේ ගියද කළ පව්වලට සමාවක් නොලැබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
අතීතයේ රටේ බලයේ සිටිමින් සම්පත් මංකොල්ලකා, ආර්ථික කඩා වැටීමට සහ ජනතාවගේ අසරණ භාවයට වගකිව යුතු පිරිස් අද සාන්තුවරයන් මෙන් වෙස්වලාගෙන ජනතාව නැවතත් රවටන්නට උත්සාහ කරන හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
“2029 දී ජනාධිපති වන බව පවසමින් නාමල් රාජපක්ෂ මහතා අද ගමින් ගමට, වන්දනාමාන කරන ස්ථාන, නිවාස සහ වැව් අසලට යමින් අලුත් මාදිලියේ දේශපාලන ප්‍රචාරණයක් දියත් කරමින් සිටිනවා. අද වන විට ඔහුට තාප්ප, බෝක්කු සහ ගස් අතුවල නැගී කතා කිරීමට සිදුවන තත්වයට ඇද වැටී තිබෙනවා.
අතීතයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් පැය ගණනාවක් ප්‍රශ්න කරන ලද දේපළ සම්බන්ධයෙන්, ‘මම කිසිවක් දන්නේ නැත, එම නිවාස මට අයිති නැත’ යනුවෙන් ඔහු මාධ්‍ය ඉදිරියේ පවසනවා. රාජපක්ෂ පවුලේ මෙම ‘අපි හොරු නෙවෙයි’ කියන නාට්‍යය රටට අලුත් දෙයක් නොවෙයි. මල්වාන ප්‍රදේශයේ බැසිල් රාජපක්ෂට අයිති යැයි කියන ලද විශාල මන්දිරය පරීක්ෂණවලදී ‘මට අයිති නැත’ යනුවෙන් පැවසුවා. එලෙසම කතරගම පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ නිවසද හිමිකම් නොකියමින් අතහැර දැමුවා. අයිතිකරුවෙකු නැති දේපළ යැයි පවසමින් බේරීම ඔවුන්ගේ සිරිතයි. අවසානයේ එම මන්දිර තමන්ගේ නේවාසිකාගාර ලෙස ලබාදෙන ලෙස විශ්වවිද්‍යාල සිසුන්ට අරගල කිරීමට සිදුවන තත්වයක් ඇති වුණා.
හොරෙකු කිසිවිටෙකත් තමා හොරෙකු බව පිළිගන්නේ නැහැ. රටේ ආර්ථික ඝාතකයන් වෙන කවුරුවත් නොව, රාජපක්ෂ පවුල බව සැමදෙනාම දන්නවා. එසේ තිබියදී, අද නාමල් රාජපක්ෂ මහතා දූෂණයෙන් තොර සාන්තුවරයෙකු මෙන් වෙස්වලාගෙන සමාව සෙවීමට උත්සාහ කරනවා. ඔබ කළ පව්වලට කෝවිලෙන් කෝවිලට, පල්ලියෙන් පල්ලියට හෝ විහාරස්ථානවලට ගියද අනිවාර්යයෙන්ම සමාවක් ලැබෙන්නේ නැහැ. රටේ ඓතිහාසික ආර්ථික කඩා වැටීම, ගොවීන් සහ වැඩකරන ජනතාව පාරට බැස්සවූ අසාධාරණය, මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වයන් වැනි පව්වලට හිමිවන දඬුවම කිනම් වන්දනාමාන කරන ස්ථානයකට ගියද සෝදා හැරිය නොහැකියි.
අතීතයේ රටේ සම්පත් මංකොල්ලකා, ජනතාව මහපාරට ඇද දැමූ එම කල්ලියම අද අලුත් වේශයකින් පැමිණ ඔබව රැවටීමට උත්සාහ කරනවා. රටේ කඩා වැටීමට වගකිව යුතු මෙම දේශපාලන බලවේග ජනතාව පැහැදිලිව හඳුනාගෙන, තවදුරටත් රැවටෙන්නේ නැතිව ඔවුන්ව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (23) යාපනයේදීය.






