පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චූදිතයින් 25දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 ප්‍රකාශයට පත්කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා විසි තුන් දහසකට අධික සංඛ්‍යාවක් යටතේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් විසින් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම පසුගිය (17) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ කළේය.
ඒ, නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදීය.
විත්තියේ සාක්ෂි විභාගය ඊයේ (24) සවස 6.00ට අවසන් කල අතර ලිඛිත දේශන සඳහා ලබන සැප්තැම්බර් 09 වැනිදා කැඳවීමට නියමිතයි.
පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් 2309ක් සාක්ෂි ලබා දුන් අතර එහි අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීමද ඉකුත් 17 අවසන් විය. ඒ අනුව වසර 5කට ආසන්න කාලයක් තුළ දින 547ක් පමණ දීර්ඝ වශයෙන් ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලේ නඩුව නිමා වී තිබේ.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි, අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.
පාස්කු ප්‍රහාර මාලාවට අදාළ මහ නඩුවේ පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාග කෙරෙන වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදි සංඛ්‍යාව ඉහළ නංවා තිබේ.






