/ Aug 25, 2026

ඩුබායි සිට රැගෙන ආ බස් ලලිත් CCIB භාරයට!

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අද (25) අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් මොහුව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බස් ලලිත්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙලෙස කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගියේය.

‘බස් ලලිත්’ නැමැත්තාට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබී ඇත.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් රතු නිවේදනය බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ලබා ගෙන ඇති අතර, මොහු මිනී මැරීමේ වරදට අධිකරණයේ පෙනී නොසිටීමේ වරද යටතේ කොළඹ මහාධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

මේ අතර, 2021.09.20 දින නෙලුන්තුඩුව පදිංචි පුද්ගලයෙකුටග් නිවස ඉදිරිපිටට ගොස් වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ද විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

2022.10.16 දින පුද්ගලයින් තිදෙනෙකු කපා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් බස් ලලිත්ට එරෙහිව නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top