නේපාලයේ භෝතේ කෝෂි (Bhote Koshi) නදිය ආශ්‍රිතව හටගත් දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් රසුවා, නුවාකොට්, ඩාඩිං සහ අනෙකුත් දිස්ත්‍රික්කවල සිදු වූ ඛේදවාචකය වෙනුවෙන් නේපාල රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාවේ සහයෝගය පළ කරමින් අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය නිල වශයෙන් ප්‍රදානය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත, ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙන බවට පොරොන්දු වූ පරිදි, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති රුවන්ති දෙල්පිටිය විසින් කාත්මණ්ඩු නුවර පිහිටි නේපාල විදේශ අමාත්‍යාංශයේදී මෙම මූල්‍ය ආධාරය නේපාලයේ විදේශ අමත්‍ය ශිෂිර් ඛනාල් (Shisir Khanal) මහතා වෙත නිල වශයෙන් පිළිගන්වා තිබේ.
මෙම හමුවේදී තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය සහ සහයෝගීතාව ප්‍රකාශ කළ අතර, මෙම ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළ කළාය.
නේපාල රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය සහන සහ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීම මෙන්ම, ගංවතුර හා නායයෑම්වලින් විපතට පත් ප්‍රජාවන්ට උපකාර කිරීම මෙම මූල්‍ය ආධාරයේ අරමුණ වී තිබේ.
මෙම ආධාර ප්‍රදානය කිරීම හරහා ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, සහයෝගීතාව සහ සමීප සබඳතා තවදුරටත් තහවුරු වන අතර, දුෂ්කර අවස්ථාවලදී නේපාලය සමඟ අත්වැල් බැඳගෙන සිටීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම සූදානම් බව මෙහිදී අවධාරණය කෙරිණි.
නේපාලයේ සහන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ඉදිරියටත් නේපාල රජය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවන බවද එහිදී සඳහන් කර තිබේ.






