/ Sep 23, 2026

උද්ධමනය පාලනය ගැන IMF වෙතින් රජයට උපදෙස්!

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය සහ වගවීමේ සීමාව තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු බවයි IMF නියෝජිත කණ්ඩායම පෙන්වා දී ඇත්තේ.

ගෝලීය තෙල් මිල ඉහළ යාමේ බලපෑම හේතුවෙන් අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය වාර්ෂික පදනමින් සියයට 8ක් දක්වා ඉහළ ගොඩ තිබුණි.

කෙසේ වෙතත්, උද්ධමන අපේක්ෂා පුළුල් වශයෙන් පාලනය වී ඇති බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

මධ්‍ය කාලීනව මිල ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා උද්ධමන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට මුදල් ප්‍රතිපත්තිය සූදානම්ව පැවතිය යුතු බවද IMF අවධාරණය කරයි.

ආහාර සහ බලශක්ති මිල ගණන්වල පවතින ඉහළ විචලනය හමුවේ සියයට 5ක වත්මන් උද්ධමන ඉලක්කය ශ්‍රී ලංකාවට අවශ්‍ය නම්‍යශීලීභාවය ලබාදෙන බවද IMF පවසන අතර අඩු සහ ස්ථාවර උද්ධමනයක් පවත්වාගෙන යාමේ වාර්තාවක් ගොඩනැගුණු පසු, ඉදිරි සමාලෝචනයකදී ඊට වඩා අඩු උද්ධමන ඉලක්කයක් වෙත ළඟාවීම සලකා බැලිය හැකි බවද ඔවුන් සඳහන් කර ඇත.

මේ අතර, රාජ්‍ය ව්‍යවසායන්ගෙන් ඇතිවිය හැකි රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා පිරිවැය ප්‍රතිසාධනය මත පදනම් වූ බලශක්ති මිලකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද IMF අවධාරණය කර තිබේ.

රජයේ ආදායම් තිරසාරව ඉහළ නැංවීම සඳහා මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසද IMF උපදෙස් දී ඇත.

බදු පදනම පුළුල් කිරීම, බදු සහන හා බදු ගෙවීම් දිරිගැන්වීම් තාර්කික කිරීම සහ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් බදු අනුකූලතාව වැඩිදියුණු කළ යුතු බවද එම අරමුදල පෙන්වා දෙයි.

මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් අවාසිදායක අවදානම්වලට මුහුණ දෙන බවද පවසන IMF කණ්ඩායම තවදුරටත් පවසන්නේ එවැනි අවදානම් හමුවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් රාජ්‍ය මූල්‍ය සහ බාහිර ආරක්ෂිත සංචිත යළි ගොඩනැගීම මෙන්ම මිල ස්ථාවරත්වය පවත්වාගෙන යාම වැදගත් බව IMF අවධාරණය කරයි.

IMF කණ්ඩායමක් සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ 2026 වසරේ වාර්ෂික උපදේශනයට අදාළ ප්‍රතිපත්ති පිළිබඳව සමාලෝචනය කර තිබේ.

2026 වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වය සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව වාර්තා වූ ශක්තිමත් ආර්ථික වර්ධනයේ 11 වන කාර්තුව බවද IMF පවසයි.

එමෙන්ම අගෝස්තු මස අවසානය වනවිට ශ්‍රී ලංකාවේ නිල දළ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දූෂණ විරෝධී නීතිමය රාමුවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක බවද ඔවුන් අවධාරණය කර තිබේ.

මෑතකදී ඉදිරිපත් කර ඇති සංශෝධනවල ඇතැම් වගන්ති මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකි බවද එම අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top