2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ සමාගම් හයක් සහ එම සමාගම්වල අධ්යක්ෂවරුන් සතු වත්කම් හා අනෙකුත් දේපළ පැවරීම, විකිණීම හෝ වෙනත් ආකාරයකින් කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා මහ බැංකුව අත්හිටුවීමේ නියෝග පනවා තිබේ.
මූල්‍ය ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මෙම නියෝග නිකුත් කර ඇත. අදාළ සමාගම් සම්බන්ධයෙන් පනවා ඇති මෙම අත්හිටුවීමේ නියෝග කොළඹ මහාධිකරණය තහවුරු කර දීර්ඝ කර තිබේ.
මෙලෙස අත්හිටුවීමේ නියෝග පනවා ඇති සමාගම් වන්නේ Kasagala Green Plantations (Private) Limited, Ceylon Green Life Plantation (Private) Limited, Singhe Capital Investment Limited, Pro Shop Adverticing Holdings (Private) Limited, Athans International Education Centre (Private) Limited සහ Iyon Lanka Investment and Film Production International Company (Private) Limited යන සමාගම්ය.
තවද නීත්‍යානුකූලව තැන්පතු භාර ගැනීමට අවසර ලබා ඇති ආයතනවල පමණක් මුදල් තැන්පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. මූල්‍ය ව්‍යාපාර පනතට පටහැනිව මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන හෝ මහජනතාවගෙන් තැන්පතු භාර ගන්නා ආයතන හා පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු කෙරෙන බවද මහ බැංකුව සඳහන් කරයි.
එවැනි ආයතන හෝ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් මහ බැංකුව වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කෙරේ.






