වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අභියාචනාධිකරණයට රැගෙන විත් තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව පසුගියදා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.
එම වරෙන්තුවට අදාළව ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උන්වහන්සේව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන තිබේ.
විවෘත වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව දින කිහිපයක් උන්වහන්සේ පොලීසිය මඟහරිමින් සිටියද ඊයේ (05) දින උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සිදුවිය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයටගත් අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධා වන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල විභාග කළ එවක අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ විනිසුරු මඩුල්ලක් 2018 වසරේ මැයි 24 වැනිදා, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ඥානසාර හිමි වරදකරු කරමින් උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19ක සිරදඬුවම් නියම කළේ එම සිරදඬුවම වසර 06කින් ගෙවී යන ආකාරයෙනි.
කෙසේවෙතත්, 2019 වසරේ මැයි 23 වනදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට ජනපති පොදු සමාව ප්රදානය කරන ලදී.
ඊට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේ විභාගයට ගැනීමෙන් පසු ඊට අදාළ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත්කරමින් ඥානසාර හිමියන්ට පොදු සමාව ප්රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට නියෝග කළේය.





