/ Oct 13, 2026

ශිරන්තිගේ හෘද සැත්කමේ ඇත්ත නැත්ත හොයන්න අධිකරණ නියෝගයක්!

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මියට අදාළව කොළඹ ජාතික රෝහලේදී හෘද සැත්කමක් සිදුව ඇත්ද යන්න පිළිබඳ වහාම පරීක්ෂා කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඒ, අද එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

‘සිරිලිය සවිය’ ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසම මගින් ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට ගන්නා ලද අතර ඇයව අද නදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය අධිකරණයට ඉදිරිපත් නොකරන ලද අතර ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ 61 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබේ.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දැනුම් දෙන ලැබුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (12) බන්ධනාගාරයේ සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීම නිසාවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් අංශයට ඇතුළත් කළ බවයි.

එමෙන්ම ඇයව මේ වනවිට විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් පවතින බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ සැකකාරිය ඊයේ දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව සැබෑවක් වුවත් ඇයව සැත්කමකට භාජනය කිරීමට අදාළව කිසිදු තොරතුරක් බන්ධනාගාර නිලධාරීන්ට වාර්තා වී නොමැති බවයි.

එහිදී මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වාර්තාව අනුව පෙන්වා දී ඇත්තේ, කොළඹ ජාතික රෝහලේ 61 වන වාට්ටුවට ඇය ඇතුළත් කර ඇති බව මිස ඇයගේ රෝග තත්ත්වය හෝ ඇයව ශල්‍යකර්මයකට භාජනය වෙන බවක් වාර්තා වී නොමැති බවය.

ඒ අනුව විවෘත අධිකරණය හමුවේ දී බන්ධනාගාර නිලධාරීන් ඇමතූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද දිනයේ දී ශිරන්ති රාජපක්ෂ විවෘත හදවත් සැත්කමකට භාජනය කරමින් පවතින්නේද ? යන කරුණු තමන්ට වහාම පරීක්ෂා කර දැනුම්දෙන ලෙසට බන්ධනාගාර නිලධාරින්ට දැනුම්දෙන ලදී.

අදාළ වාර්තාව බන්ධනාගර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුව පස්වරු 02.00 දක්වා කල්තැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top