අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිරදඬුවම් ලබා සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නියැළුන අතර අධිකරණය නියෝගය හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවීම මත එම භික්ෂුන් වහන්සේලා පිරිස කොළඹ විහාර මහා දේවී උද්යානයට රැස්ව සිටිති.
ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන තෙක් උන්වහන්සේලා එම භූමියේ සත්යග්රහයක නිරතවන බවට ප්රකාශ කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ඉවත් වූ පිරිස බුද්ධශාසන අමාත්යංශය ඉදිරිපිටට ගොස් තිබුණු අතර අනතුරුව එහි ලේකම්වරයා සමඟ සාකච්ජාවක් පවත්වා තිබුණි.
එම සාකච්ජාව අසාර්ථක බව පවසමින් එම භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවී උද්යානය වෙත ගොස් තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ නමින් පසුගිය 10වනදා මහනුවර දළදා මාළිගා පරිශ්රයේ සිට කොළඹ බලා පාගමනින් පැමිණියේය.
කොළඹට පැමිණි එම විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගිය අතර එහිදී ජනාධිපති ලේකම් ඇතුළු නිලධාරීන් පැමිණ භික්ෂුන් වහන්සේලා සමඟ සාකච්ජා කර උන්වහන්සේලාගේ ඉල්ලීම පිළිබඳ සලකා බැලීම වෙනුවෙන් මාසයක කාලයක් ගතවන බව පැවසුවද ඊට උන්වහන්සේලාගේ විරෝධතාව එල්ල විය.
විටින් විට ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම්කාරී තත්ත්වයන්ද හට ගෙන තිබුණි.
කෙසේවෙතත් ඊයේ පෙරවරුවේ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසකට එම ස්ථානයේ රැඳී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.





