/ Oct 23, 2026

ටිබෙටයේ බාචෙන් ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පාවෙන් 16ක් මරුට.තවත් 46කට තුවාල!

චීනයේ ටිබෙට් ස්වයංපාලන කලාපයේ නාග්චු නගරයට අයත් බාචෙන් ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රියේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයකින් යුතු වූ මෙම භූකම්පනය එරට වේලාවෙන් රාත්‍රී 10.33ට පමණ සිදුව ඇත.

තුවාල ලැබූවන් අතුරින් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර, තවත් 35ක් සුළු තුවාල ලබා ඇත.

භූමිකම්පාවත් සමග ප්‍රදේශයේ නිවාස 339ක් සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හෝ බරපතල හානියට ලක්ව ඇති අතර සත්ව ගොවිපළ 20කට ආසන්න සංඛ්‍යාවකට ද හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම භූකම්පනය හේතුවෙන් කලාපයේ විදුලි බල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

තත්ත්වය තක්සේරු කරමින් චීන බලධාරීන් විසින් ප්‍රදේශය පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අතර, සෙවීම් හා මුදාගැනීමේ කටයුතු වේගවත් කර ඇත.

භූමිකම්පාවෙන් පසු, චීන මහජන විමුක්ති හමුදාවේ බටහිර විධානය ආපදා සහන සඳහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය වහාම ක්‍රියාත්මක කළ අතර, ප්‍රමාදයකින් තොරව පළමු අවස්ථාවේදීම ආපදා තත්ත්වය තහවුරු කර ගෙන තිබේ.

තවද, ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් යානා යොමු කර ඇති අතර, බලපෑමට ලක්වූ ප්‍රදේශ ආසන්නයේ ස්ථානගතව සිටි හමුදා ඒකකවලට අදාළ ප්‍රදේශ වෙත ගොස් ‍අදාළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දී ඇති අතර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ද මෙම තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් වැදගත් උපදෙස් නිකුත් කර තිබෙන බව දැක්වෙයි. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා උපරිම කැපවීමකින් කටයුතු කිරීම, ආපදාවට ලක්වූවන් නිසි ලෙස නැවත පදිංචි කිරීම, ජනතාවගේ ජීවිතවල සහ දේපළවල ආරක්ෂාව ඵලදායී ලෙස තහවුරු කිරී‍මේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර ඇත.

මීට පෙර 2023 වසරේදී සිදුවූ රික්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවකින් පුද්ගලයින් 120කට වැඩි පිරිසක් මියගිය අතර, 2010 වසරේදී මෙම ප්‍රදේශයේ සිට කිලෝමීටර 280ක් පමණ දුරින් පිහිටි චිංහායි පළාතට බලපෑ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 2,698 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300කට ආසන්න පිරිසක් අතුරුදහන් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top