/ Oct 27, 2026

ජාත්‍යන්තර විදුලි සංදේශ වංචාවල වෙනස් වන ස්වභාවය සහ ශ්‍රී ලංකාවට ඇති අනතුරු – දේශසීමා ඉක්මවූ වංචා

දශකයකට අධික කාලයක් පුරා, දේශසීමා ඉක්මවූ විදුලි සංදේශ වංචා (telecom fraud) මේ වනවිට සුවිශාල වෙනසකට ලක්ව ඇත. මියන්මාරයේ සහ කාම්බෝජයේ පිහිටි මුල්කාලීන වංචා මධ්‍යස්ථාන බොහෝ දුරට මෙහෙයවනු ලැබුවේ චීන ජාතිකයන් විසිනි. එහි සේවය කළේ ද චීන ජාතිකයන්ම ය.

ඔවුන්ගේ වංචා ක්‍රියාවලිය මූලික වශයෙන් චීන භාෂාව (Mandarin) මත පදනම් වූ අතර චීනය තුළ සිටින පුද්ගලයන් ඉලක්ක කර ගන්නා ලදී. පොදු භාෂාවක් සහ සංස්කෘතික පසුබිමක් තිබීම හේතුවෙන් අපරාධකරුවන්ට පහසුවෙන් සන්නිවේදන ජාල ගොඩනගා ගැනීමටත්, මුදල් හුවමාරු කිරීම් සහ පුද්ගලයන් බඳවා ගැනීම් සරල කර ගැනීමටත් හැකි විය.

චීනය විසින් වංචා මැඬලීම සඳහා පුළුල් ක්‍රියාමාර්ග ගෙන ඇත. ඊට දේශසීමා හරහා පොලිස් සහයෝගීතාව, පුද්ගලයන් නැවත මව් රටට යැවීම, වත්කම් තහනම් කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළත් වේ. මෙම පියවරයන් හේතුවෙන් චීන භාෂාව පදනම් කරගත් වංචා ක්‍රියාත්මක කිරීමේ ඉඩකඩ ක්‍රමයෙන් සීමා විය. අපරාධ සඳහා මූල්‍ය ආයෝජනය කරන පුද්ගලයන්ට, චීන ජාතිකයන් ඉලක්ක කර ගැනීම වඩාත් අවදානම් සහගත වූ අතර, ඉන් ලැබෙන ලාභය ද අඩු විය.

මේ අනුව අපරාධකරුවන්ගේ අවධානය ඉංග්‍රීසි භාෂාව කතා කරන විශාල වෙළඳපොළ වෙත යොමු වූ විය. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්විය. මෙම වෙනසත් සමඟ නව ආකාරයේ ශ්‍රම අවශ්‍යතාවක් මතු විය. එනම් චීන භාෂාව වෙනුවට ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවිය හැකි, ඇමරිකානු දෛනික ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයන් අවශ්‍ය විය. ඔවුන්ට බදු බලධාරීන් හෝ තාක්ෂණික සහාය සේවකයන් ලෙස පෙනී සිටිමින්, වින්දිතයන්ගේ සැකය දුරු කර ඔවුන්ව රවටා ගැනීමට හැකි විය යුතුය.

ඉන්දියාවේ, මෙවැනි ‘කෝල් සෙන්ටර්’ (call-centre) අත්දැකීම් සහිත තරුණ පිරිසක් සිටියහ. දශක ගණනාවක් තිස්සේ ඉන්දියාව, බටහිර රටවලට අවශ්‍ය දුරකතන සේවා (call services) සපයන ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළේය. එහිදී මිලියන ගණනක් තරුණ සේවකයන් ඇමරිකානු පාරිභෝගිකයන් සමඟ සන්නිවේදනය කිරීමටත්, බටහිර පරිපාලන පද්ධති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් පුහුණු කරනු ලැබීය.

කෙසේ වෙතත්, බාහිර සේවා සැපයීමේ (outsourcing) ක්‍රියාවලිය වෙනත් රටවලට මාරු වීම සහ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් මූලික දුරකතන සේවා කාර්යයන් ආදේශ කිරීම හේතුවෙන්, පුහුණුව ලත් බොහෝ සේවකයන්ට ස්ථාවර රැකියා අහිමි විය. විශාල තරුණ ජනගහණයක් සිටීම සහ දේශීය රැකියා වෙළඳපොළේ පවතින දැඩි තරඟකාරීත්වය නිසා, විදේශයන්හි ඉහළ වැටුප් සහිත රැකියා ලබා දෙන බවට කෙරෙන ප්‍රචාරණ රැසකි. එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ ලේඛනවලට අනුව, මෙම ඉන්දියානු වංචාකරුවන් විභව වින්දිතයින් හඳුනා ගැනීමට සහ සම්බන්ධ කර ගැනීමට දත්ත තැරැව්කරුවන්ගෙන් පුද්ගලික දත්ත මිලදී ගනී.

පසුගිය 2025 අගෝස්තු මාසයේදී ඉන්දියාවේ බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද පරීක්ෂණයකින් ද තහවුරු වූයේ ‘නොයිඩා’ සහ ‘ගුරුග්‍රෑම්’ හි නීති විරෝධී ඇමතුම් මධ්‍යස්ථාන තාක්ෂණික සහාය සේවා ලෙස වෙස්වලා ගෙන ඇති අතර, ඒවා ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් ඉලක්ක කර ගෙන ඇති බවය.

මෙම අපරාධ ජාලය ශ්‍රී ලංකාව දක්වා විහිදේ. ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂණවලින් පෙනී යන්නේ දේශීය වංචා නඩු වලින් ලැබෙන අරමුදල් එක්සත් රාජධානිය, ඩුබායි සහ ඉන්දියාවේ ගිණුම් වෙත ගලා යන බවයි. ශ්‍රී ලංකාව තුළ, ඉන්දියානු වංචාකරුවන් සාමාන්‍යයෙන් මහජනතාව වෙත ළඟා වීමට WhatsApp සහ Telegram භාවිතා කරයි. කෙටි වීඩියෝ ලයික් සඳහා ත්‍යාග පොරොන්දු වන ව්‍යාජ අර්ධකාලීන රැකියා ඔවුන් ඇමක් ලෙස යොදවයි. ව්‍යාජ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි මත ගොඩනගා ඇති සමාන්තර වංචා නඩු ද වැඩි වී ඇත.

මෙම 2026 මැයි 17 වන දින, ශ්‍රී ලංකාවේ ‘සන්ඩේ ටයිම්ස්’ (Sunday Times) පුවත්පත විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී කනස්සල්ලට කරුණක් වන ප්‍රවණතාවක් පිළිබඳව අවධාරණය කෙරිණි. එනම් විදේශීය වංචාකරුවන් සංචාරක වීසා බලපත්‍ර මත ශ්‍රී ලංකාවට පැමිණ, සුඛෝපභෝගී හෝටල් (boutique hotels) සහ විශාල පෞද්ගලික නිවාස දිගුකාලීනව කුලියට ගනිමින් ඒ සඳහා ඉහළ කුලී මුදලක් ගෙවනු ලබනු බවයි. ඉහළ කුලී ආදායම ලැබීම නිසා ඇතැම් නිවාස හිමියන්, කුලීකරුවන්ගේ සැක සහිත ක්‍රියාකාරකම් නොසලකා හරින අතර, එමගින් හෝටල් සහ පෞද්ගලික නිවාස රහසිගත වංචා මධ්‍යස්ථාන බවට පත්වේ.

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ නීති රාමුවේ පවතින අඩුපාඩු පිළිබඳව ද පොලිසිය පෙන්වා දෙයි; එනම්, වේගයෙන් වෙනස් වන වංචා කිරීමේ උපක්‍රමවලට සාපේක්ෂව තාක්ෂණික ආරක්ෂක පද්ධතිවලට ඊට මුහුණ දීම අපහසු වී තිබේ.

අපරාධයක් දෙස බැලීමේදී එය සිදු කළ පුද්ගලයාගේ ජාතිකත්වය මත පදනම්ව විනිශ්චය කිරීමෙන් වැළකී සිටීමට නම් කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

පළමුව මෙහිදී සිදුවන්නේ අපරාධකරුවන්ගේ ජාතිකත්වය හුදෙක් මාරුවීමක් නොව, වංචා ඉලක්ක කරන වෙළඳපොළවල් වෙනස් වීමකි. මීට පෙර චීන ජාතිකයන් විසින් මෙහෙයවන ලද වංචා මගින් ඉලක්ක කළේ මැන්ඩරින් (චීන) භාෂාව කතා කරන්නන් ය. ඉන්දියානු ජාතිකයන් විසින් මෙහෙයවනු ලබන නීතිවිරෝධී ඇමතුම් මධ්‍යස්ථාන (illegal call centres) මූලික වශයෙන් ඉලක්ක කරන්නේ එක්සත් ජනපදයේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්නන් ය. ඔවුන් ව්‍යාජ බදු නිවේදන, ව්‍යාජ තාක්ෂණික සහාය සේවාවන්, ප්‍රේම සම්බන්ධතා මවාපාමින් සිදු කරන වංචා (romance scams) සහ ක්‍රිප්ටෝ මුදල් වංචා වැනි ක්‍රම භාවිතා කරයි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමේදී, ඔවුන් තම වංචා කිරීමේ ක්‍රමවේදයන් (scripts) දේශීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි වෙනස් කර ගන්නා අතර, ඒ සඳහා අර්ධකාලීන රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ආපසු ලබා දෙන බවට (rebates) පොරොන්දු වීම සහ ව්‍යාජ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ ක්‍රම වුව භාවිතා කරයි. මෙම වංචා වර්ග දෙක, ඒවාට ගොදුරු වන පුද්ගල කණ්ඩායම්, භාවිතා කරන වංචනික උපක්‍රම සහ මුදල් විශුද්ධිකරණය (නීතිවිරෝධී මුදල් නීත්‍යානුකූල කිරීම) සිදු කරන ආකාරය අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

දෙවනුව, මෙයට සම්බන්ධ සෑම ඉන්දියානු ජාතිකයෙක්ම ප්‍රධාන සැලසුම්කරුවෙකු (mastermind) නොවේ. පහළ මට්ටමේ නියෝජිතයන් බොහෝ දෙනෙක්, විදේශ රැකියා ලබා දෙන බවට කරන ව්‍යාජ පොරොන්දු නිසා රැවටී, තම නිදහස අහිමි වී, බලහත්කාරයෙන් වංචා කිරීමට යොමු කරනු ලැබූවන් විය හැකිය; ඔවුන් ඇත්ත වශයෙන්ම ඩිජිටල් ක්ෂේත්‍රයේ සූරාකෑමට ලක් වූ ශ්‍රමිකයන් පිරිසකි. අපරාධ ජාලයේ සැබෑ පාලනය ඇත්තේ එහි ප්‍රධානීන්, මුදල් හසුරුවන්නන් සහ පුද්ගලයන් අත ය. කලාපීය ජාතීන් වින්දිතයින් ආරක්ෂා කිරීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරුව සහ ඒකාබද්ධ පරීක්ෂණ ශක්තිමත් කළ යුතුය.

බොහෝ පාඨකයින් චීන ජාතිකයන් දේශසීමා වංචාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බව උපකල්පනය කළ හැකිය. යථාර්ථය එය නොවේ. අපරාධ ප්‍රාග්ධනය ඉංග්‍රීසි කතා කරන ප්‍රේක්ෂකයින් සඳහා ඉහළ අවදානම් සහිත චීන භාෂා වෙළඳපොළ අතහැර දමා, මෙම නව වින්දිත කණ්ඩායමට ගැලපෙන ශ්‍රමය සොයයි. අපරාධ සින්ඩිකේට් සැමවිටම දුර්වල නියාමනයක් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සොයයි. ජාතිකත්වය මතුපිට ලක්ෂණයක් පමණි.

ගෝලීය විදුලි සංදේශ වංචා ආමන්ත්‍රණය කිරීම සඳහා චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සහ බලපෑමට ලක් වූ සියලුම ජාතීන් අතර සහයෝගීතාවයක් අවශ්‍ය වේ. අපි පුද්ගලික දත්ත නීති විරෝධී ලෙස වෙළඳාම් කිරීම මැඩපැවැත්විය යුතුය, දේශසීමා හරහා මුදල් විශුද්ධිකරණ මාර්ග කපා හැරිය යුතුය, ජාවාරම් කරන ලද පුද්ගලයින් බේරා ගත යුතු අතර සාමාන්‍ය පුරවැසියන්ගේ ඉතිරිකිරීම් ආරක්ෂා කළ යුතුය.

හුවාං ඩෙකායි (Huang Dekai)

පරිවර්තනය – සචිත්‍ර පෙරේරා

(පර්යේෂණ සාමාජික, සංවාදය සඳහා වූ ලෝටස් මධ්‍යස්ථානය)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top