පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10,000කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
දිස්ත්රික්ක 12ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 57ක පවුල් 2,736කට අයත් පුද්ගලයින් 10,545 දෙනෙකු එලෙස පීඩාවට පත්ව තිබේ.
ඒ අනුව ආරක්ෂිත ස්ථාන 4ක බලපෑමට ලක්වූ පුද්ගලයින් 182 දෙදෙනෙකු මේ වන විට රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි පවසයි.
“දිස්ත්රික්ක වශයෙන් ගත්තහම අම්පාර, කොළඹ, ගම්පහ, යාපනය, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතර, පුත්තලම, රත්නපුර, මන්නාරම, ත්රිකුණාමලය යන දිස්ත්රික්කවල මේ මස 23 වැනිදා පටන් ඇති වූ වැසි සහිත තත්ත්වය සමඟ පුද්ගලයින් 10,545 දෙනෙකු පීඩාවට පත්වීම වාර්තා වුණා. කොළඹ දිස්ත්රික්කයේ ආරක්ෂිත ස්ථානයක් පවතිනවා. එහි පුද්ගලයින් 27 දෙනෙකු රඳවා සිටිනවා. රත්නපුර දිස්ත්රික්කයේ ආරක්ෂිත ස්ථාන දෙකක පුද්ගලයින් 33 දෙනෙකු රඳවා ඇති අතර, මන්නාරම් දිස්ත්රික්කයේ ආරක්ෂක ස්ථානයක පුද්ගලයින් 122කු ඇතුළු පුද්ගලයින් 182ක් තාවක්කාලිකව එම ස්ථානවල රඳවා සිටිනවා.
නිවාස අර්ධ හානි 215ක් වාර්තා වී ඇති අතර, පුත්තලම ප්රදේශයෙන් දියේ ගිලී මියයෑමක් වාර්තා වුණා අවුරුදු 56ක අයෙක්. ගතවු පැය 24 තුළ කිලිනොච්චිය, මන්නාරම, යාපනය, මුලතිව් සහ කළුතර දිස්ත්රික්කවල මි.මී 100ක් වැසි වාර්තා වුණා. ”
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්රධාන ජලාශ 17ක් සහ මධ්ය පරිමාණ ජලාශ 13ක් මේ වන විට වාන් දමමින් තිබේ.
එමෙන්ම ගිං, නිල්වලා, කළු, කැලණි ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔය අවට පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර සඳහන් කරයි.
මේ අතර දිස්ත්රික්ක 3ක ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 11කට නායායාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක, කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල සහ දොඩංගොඩ මෙන්ම නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුවකෝරලේ සහ නෝවුඩ් යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.
මේ අතර ඔර්නබ් සුළි කුණාටුව ඉතා ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කා තිබේ.
අද (27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවතුනි.
මෙය අද සවස 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (28) පෙරවරු 11.30 වන විට ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අපේක්ෂා කරයි.





