/ Nov 06, 2026

එක්නැළිගොඩ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන ලෙස නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක් – අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න!

පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව ඊයේ (05) සහ අද (06) යන දෙදින තුළත් කොළඹ විජේරාම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වූ අතර එහිදී විනිසුරු මඩුල්ල විසින් විශේෂ නියෝගයක් නිකුත් කළේය.

මෙම නඩුවට අදාළව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) උප වගන්තිය යටතේ විත්ති වාචකය නොමැතිව නඩුවට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

ඒ අනුව විනිසුරු මඩුල්ල විසින් එම අවස්ථාව විත්තියේ නීතිඥවරු වෙත ලබා දෙන ලදී.

මෙහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සිය වාචික දේශනා ඉදිරිපත් කරමින් පැවසුවේ මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොණු කර තිබෙන අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බවත් එහෙයින් විත්ති වාචක නොකැඳවා විත්තිකරුවන් 09 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවයි.

අනතුරුව එම සියලු වාචික දේශනා අවසානයේ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශ කරන ලදී.

එහිදී නිවිසුරු මඩුල්ල නියෝග කළේ මෙම නඩුවට අදාළව විත්තිවාචක කැඳවිය යුතු බවත් ඒ අනුව සියලුම විත්තිකරුවන්ට නඩුවට ඇති අයිතිවාසිකම පරිදි විත්ති කූඩුවට නැග තමන්ගේ වාචික ප්‍රකාශ ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි. එමෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් පරිදි විත්ති කූඩුවේදී කිසිම ප්‍රකාශයක් නොදී නිශ්ශබ්දව සිටීමට හැකි බවද විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

අනතුරුව මෙම නඩුවේ විත්තිවාචක කැඳවීම සඳහා එළඹෙන 12 සහ 13 යන දෙදින යළි නඩුව කැඳවන බවට නියෝග කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top