මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවක මණ්ඩලයට සිදුව ඇති වැටුප් හා සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම, අසාධාරණ ලෙස රැකියා අහිමි කිරීම සහ ආයතන පරිශ්‍රයට ඇතුළුවීම අවහිර කිරීම ඇතුළු කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස මාධ්‍ය සංවිධාන හතක එකමුතුව කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මියගෙන් ඉල්ලා තිබේ.
මෙම ගැටලු සම්බන්ධයෙන් මෙන්ම ජනමාධ්‍ය කර්මාන්තයේ සේවකයන් මුහුණ දෙන වෙනත් වෘත්තීය ගැටලු පිළිබඳව ද සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස එම සංවිධාන එකමුතුව කම්කරු කොමසාරිස් ජනරාල්වරියගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සංසදය සහ දකුණු ආසියානු මාධ්‍ය කාන්තාවෝ යන සංවිධාන හතේ නියෝජිතයන්ගේ අත්සනින් යුතුව අද (නොවැම්බර් 16 වැනිදා) යොමු කළ ලිපියකින් මෙම ඉල්ලීම කර තිබේ.
සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයට අයත් මෙම පුවත්පත් දෙකේ සේවකයන්ගේ මාස ගණනාවක වැටුප් සහ සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම, සේවක පාරිතෝෂික නොගෙවීම සහ සාධාරණ හේතු දැක්වීමකින් තොරව රැකියා අහිමි කිරීම සම්බන්ධයෙන් එම සංවිධාන සිය ලිපියෙන් කරුණු දක්වා තිබේ.
එසේම, තවදුරටත් සේවය අවසන් කරනු ලැබ නොමැති සේවකයන්ට පවා තමන් සේවය කරන ආයතන පරිශ්‍රයට ඇතුළුවීම පාලනාධිකාරිය විසින් අවහිර කර ඇති බවත්, එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව හෝ අදාළ රාජ්‍ය බලධාරීන් පූර්වයෙන් දැනුවත් කර නොමැති බවත් ලිපියේ සඳහන් කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ සේවකයන් සහ ඔවුන්ගේ පවුල් දැඩි ආර්ථික හා සමාජීය දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව පෙන්වා දෙන මාධ්‍ය සංවිධාන එකමුතුව, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව අපක්ෂපාතීව හා කඩිනමින් මැදිහත් විය යුතු බව අවධාරණය කර තිබේ.
එමෙන්ම, මෙම ගැටලු සම්බන්ධයෙන් නිල වශයෙන් මැදිහත්වී අගතියට පත් සේවකයන්ට සාධාරණය ඉටු කරන ලෙස ද එම සංවිධාන කම්කරු කොමසාරිස් ජනරාල්වරියගෙන් ඉල්ලා ඇත.






