සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවක් නොපෙනෙන අතර සංශෝධන කිහිපයකට යටත්ව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
මෙම තීරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙමින් කථානායකවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ බවයි.
වැඩබලන නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන මෙන්ම, අධිකරණය විසින් නියම කරන ලද තවත් සංශෝධන ද, පනත් කෙටුම්පත ‘කාරක සභා අවස්ථාවේදී’ ඊට ඇතුළත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
ඒ අනුව වැඩබලන නීතිපතිවරයා ලබා දුන් එකඟතාවන්ට අනුකූලව පනත් කෙටුම්පතේ 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 20, 21, 23, 24, 25, 29, 30, 31, 32, 33, 34, 36, 37, 39, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 57, 58, 61, 62, 63, 64, 65, සහ 66 යන වගන්ති කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කළ යුතු වෙයි.
එමෙන්ම කාරක සභා අවස්ථාවේදී 6 වන වගන්තිය පනත් කෙටුම්පතෙන් ඉවත්කළ යුතු අතර, 15, 16, 17 සහ 33 යන අයිතම පළමු උපලේඛනයෙන් ඉවත් කළ යුතු බවත් එවකට වැඩබලන නීතිපතිවරයා විසින් යෝජනා කර තිබූ බවද පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙසත් මෙහිදී නියම කළේය.





