අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළ දී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන අදාළ සැකකරු විසින් එම අපරාධ්‍ය සිදු කර ඇති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත.
34 හැවිරිදි අදාළ සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්. එසේම ඔහු චීවරධාරියෙකු ලෙස සිට ඇති බව ද හෙළිව තිබේ.
යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක පෙරේදා (10) රාත්‍රියේ සිය පොරොත්තු රාජකාරී අවසන් කර රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර තිබේ.
එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා තිබේ.
එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘර ලෙස දූෂණයට ලක්කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත.
අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, එනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත.
එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.