වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
වැඩබල පොලිස්පතිවරයා පොලිස් කොමිෂන් සභාවේ බලතල සහ ස්ථානමාරු ප්‍රතිපත්තියේ විවිධිධාන උල්ලංගණය කර ඇති හෙයින් එම තීරණය ගත් බවයි එම කොමිසම පෙන්වාදෙන්නේ.
බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඉකුත් 25 වැනිදා ස්ථානමාරු කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සහ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් නොකර බව ද මේවන විට හෙළිව තිබේ.
අදාළ සිද්ධිය රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිකර ඇති බවත් එම නිසා වැඩබලන පොලිස්පතිවරයාට දී තිබූ බලය ඉවත්කළ බවත් පොලිස් කොමිසම සඳහන් කරයි.
මේ අතර බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථානමාරුව වාහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ද පොලිස් කොමිෂන් සභාව කියා සිටී.
පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඉවත් කිරීම සඳහා හදිසි සහ සුවිශේෂි අවශ්‍යතාවකක් උද්ගත වූ විට ඔහු ඉවත්කර සුදුසු නිලධාරීයකු පත්කර ඒ පිළිබඳව පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට බලය පවරා තිබුණි.
එහෙත් වැඩබලන පොලිස්පතිවරයා එම ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල ද ස්ථානය මාරු ප්‍රතිපත්තිය ද උල්ලංඝණය කර ඇතැයි පොලිස් කොමිෂන් සභාව කියයි.
තවදුරටත් පොදු තීරණය අනුව කටයුතු කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට අවකාශ සලසාදීම තුළින් මහත් ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් පොදු තීරණය අවලංගු කිරීමට ඒකමතිකව තීරණය කළ බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.