ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
එහි දී පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.
ඒ අනුව බන්දුල පියල් හා මාධව සුදර්ශන යන පිය – පුතු දෙපළගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකතන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ පුද්ගලයින් දෙදෙනා විදේශගතවීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක් ද නිකුත් කළේය.
අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වමින් පොලිසිය පැවසුවේ මියගිය තැනැත්තාගේ සහෝදරයකු වන තිළිණ ප්‍රසාද් නමැත්තා මීට වසර කිහිපයකට ඉහත දී කපා කොටා ඝාතනය කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් මෙම පිය පුතු දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවතින බවත්ය.
මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඉදිරි විමර්ශන සිදු කරන බවත් පොලීසිය අධිකරණයට දැනුම්දුනි.
මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධය සිදුවූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිතව ඇත.