පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහාය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම්කර එවන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
එම විමර්ශන කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මඟින් ඒ බව දැනුම් දී ඇත.
මෙම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේ දී දෙවැනි වරට රැස් වූ අවස්ථාවේ දී මෙසේ දැනුම්දීම සිදුකෙරිණි.
එසේම කමිටුවට සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් නම් කොට ඇති අතර අද දින කමිටුව රැස්වී තවදුරටත් ඉදිරි කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්විණි.
ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව එළඹෙන 28 දින නැවත රැස්වීමට නියමිතය.