මොරටුව, මෝදර ප්‍රදේශවාසියෙකුගේ දුරදක්නා නුවණ හේතුවෙන් අද (05) පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට සමත්ව තිබේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීල්ලකට හානි සිදුව තිබෙන දුටු අදාළ පුද්ගලයා වහාම ක්‍රියාත්මක වී එම දුම්රිය පීල්ලේම ඉදිරියට පැමිණෙමින් තිබූ දුම්රිය නැවැත්වීමට පියවර ගෙන තිබුණි.
ඒ, රතු පැහැති රෙදි කැබැල්ලක් වනමින් දුම්රිය රියදුරුට සංඥාවක් ලබා දීමෙන් ය.
සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට මෙලෙස කටයුතු කර තිබුණේ සමන්ත ප්‍රනාන්දු නමැති පුද්ගලයෙකි.
සිය ජීවිත අවදානම ද නොතකමින් සිදුකළ මෙම වීර ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය,
“මම පුතාලගේ ගේ ළඟ හිටියේ. ඉන්නකොට මෙතන ඇන්ටි කෙනෙක් බලාගෙන හිටියා. එයා කතා කරලා මට කිව්වා පීල්ල කැඩිලා කියලා. ඊට පස්සේ මම ළඟට ඇවිල්ලා බලනකොට කෝච්චියේ හෝන් එකේ සද්දේ ඇහෙනවා. ඉක්මනින් පුතාලගේ ගෙදර දුවලා ගිහින් ලේලිගේ රතුපාට ගවුමක් අරන් රේල් පාර මැද්දට ගිහිල්ලා ටිකක් වැනුවා කෝචිචියට. ඊට පස්සේ තමයි කෝච්චිය නැවැත්වූවේ.
ඊට පස්සේ මහත්තයට කිව්වා මහත්තයා පීල්ලක් කැඩිලා තියෙන්නේ චුට්ටක් බලන්න කියලා. එතකොට බලලා තමයි ඒගොල්ලන්ගේ කට්ටිය ගෙනැල්ල හදන්න සැලැස්සුවේ. “