/ Jun 09, 2025

සිරදඬුවම් ලැබූ මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

වසර 20ක සිර දඬුවමක් විඳිමින් සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇති බව සඳහන්.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් බෝඩ් 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදී ගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ වැරදිකරු කරමින් අධිකරණය ඔහුට වසර 20ක සිරදඬුවමක් නියම කළේ.

පෙත්සම්කරු කියා සිටින්නේ අල්ලස් කොමිසම විසින් ගොනු කළ ඉහත චෝදනාවලට වරදකරු කෙරුණු තමන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිතවසර 20ක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කළ බවයි.

තව ද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඇතැම් කරුණු වැරදි ලෙස අර්ථ කරණය කරමින් මෙම නඩු තීන්දුව ලබාදී ඇති බවත් ඔහු අභියාචනය මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම විත්තිය විසින් ඉදිරිපත් කළ ඇතැම් කාරණා නඩු තීන්දුව ලබාදීමේ දී මහාධිකරණ විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගෙන නොමැති බවත් එම අභියාචනයේ සඳහන්.

ඒ, අනුව තමන්ට එරෙහිව පැනවූ එම දඬුවම නීතියට පටහැනි බව අභියාචනය මඟින් දන්වා ඇති අතර, අදාළ තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කොට තමන්ව සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top