”මම පැරිසියේ වීදී දිගේ ඇවිද යමි. නැවත මා ආදරණීය නිවහන දැකීම හුදෙක් සිහිනයක ශේෂයකි. මගේ අතක බර මල්ලකි. හිත යම් නොසන්සුන් බවකින් පෙළෙතත් මගේ ගමනේ ඒ චකිතය දැවටී නැත.”
1942 දී පැරිසියේ වීදියක සරන ඇගේ සිතුවිලි එසේ එක් කෙටි ඡේදයකට ගොනු කළ හැකි නොවුණද Noor – Inyat – Khan ( Madeline) නම් වන ඇය ගැන වන කතාවක යම් මුල පිරුමකට එය කදිම බව හැඟේ.
ඉන්දියානු පියකුගේ හා ඇමරිකන් මවකගේ දියණියව මොස්කව් හි උපත ලබන ඇය Noor( ආලෝකය)නම් ලබන්නීය. පසුව ලන්ඩනයට පැමිණෙන ඔවුන් Noor සය හැවිරිදි වියේදී පැරිසියට පැමිණෙයි. සුෆීවරයෙකු වන ඇගේ පියා Tipu Sultan රජ පෙළපතින් පැවතෙන්නෙකි. ඒ අනුව Noor ඉන්දියානු කුමරියකි. ඇය හැදෙන්නේ කාව්‍ය හා සංගීතය සුසංයෝජිත ඉතා සාමකාමී ගෘහයකය. ඇය කතන්දර ලියන්නියකි; කතන්දර කියවන්නියකි; ‘හාර්ප්’ වයන්නියකි ;ළමා මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් උපයාගත්තියකි.

සියුමැලි ඇවතුම් පැවතුම් සහිත ලැජ්ජාශීලී ඇය Gestapo වරුන්ගේ (නාසි පොලිසිය) උකුසු ඇස් මඟහරිමින් පැරිසියේ වීදි සරන්නේ ඇයි? ඇත්තටම ඇය අතැති විසල් බෑගය තුළ ඇත්තේ කුමක්ද?
ඉතිහාසය යනු මුළු මහත් විශ්වයක් රුවාගත් අපූරු: අදෘෂ්‍ය මැදුරක් නම් Noor අපේ කතා නායිකාව මතුවන්නේ එහි, දෙවැනි ලෝක යුද්ධය නමැති අඳුරු කොරිඩෝවෙනි.
නාසීන් 1940 දී පැරිසිය යටත් කරගත් පසු, ඔවුන්ගේ යක්ෂාවේශය ලොවට කෙසේ වින කටිනු ඇතිදැයි විමසා බැලීමට මහා බ්‍රිතාන්‍යයට අවැසි විය. එහිදී Special Operations Executive (SOE) යුහුසුළු වූයේ ඔවුන්ගේ රහස් නියෝජිතයන් කණ්ඩායමක් පැරිසියට යැවීමටයි. ඔවුන්ට රේඩියෝව (wireless) හරහා රහස් පණිවිඩ බ්‍රිතාන්‍යයට එවීමට විශේෂ පුහුණුවක් ලබාදුන් අතර Noor ද ඒ අතර විය.
ඇය 1943 ජුනි මස, පැරිසියට යවන්නේ ‘Madeleine ‘නමැති රහස් නමිනි. ඇය එසේ යැවූ පළමු රේඩියෝ ක්‍රියා කරවන්නියයි.
කලෙකදී හා’ර්’ප් වාද්‍ය භාණ්ඩය රැඳුණු අතින්, රහස් රේඩියෝ පණිවිඩ යැවීමට වුවමනා අඩුම කුඩුම පිරි බෑගයක්ද ඇතිව ඇය දිනපතාම පැරිසියේ වීදි සරන්නීය; ආරක්ෂාකාරීව සිය කටයුතු කිරීමට තැනක් සොයන්නීය.
ඇගේ අතේ රැඳුණු ඒ බෑගය සමඟ කොතැන හෝ ඇය හමුවුවහොත් ලැබෙන නිශ්චිත ඉරණම වන මරණය පිළිබඳ ශංකාමය සිතුවිල්ල ද, සාමය පිළිබඳ බලාපොරොත්තුවේ ප්‍රහර්ෂයට ඇය ඒ සමඟම රැගෙන යන්නීය.

1944 සැප්තැම්බර් 13 දින වෙඩි තබා ඝාතනය කරද්දී ඇගෙන් නික්මෙන අවසන් වදන ‘Liberte’ (නිදහස)යන්න පමණකි. ඇය, එවිට බ්‍රිතාන්‍යයෙන් යෙදවූ රහස් ඔත්තු කණ්ඩායමේ, අවසන් නියෝජිතවරියයි.
Sharon Mass විසින් රචිත ‘ The Last Agent in Paris’ නවකතාව මෙන්ම ඇය ගැන ලියැවුණු තවත් බොහෝ දේ ද නිමැවූ සිනමාපටයද Noor පිළිබඳ නොනිවී දැල්වෙන මතක සමුච්චයකි.

සාමාන්‍යයෙන් යුද්ධයක් යනු පුරුෂයන් සුලබව ගැවසෙන බීමකි; යුධ විරුවන් බොහෝ සේ බිහිවෙන තැනකි. ඒ අතර Noor වැනි විරුලියන් ද ඇත. ඇය, ලොව විරලව පිදෙන පදක්කම් කිහිපයක හිමිකාරියකි. ඇගේ දිවි පිදුමෙන් දශක හතකට පසු, බ්‍රිතාන්‍යයෙහි ඇගේ උඩුකය පිළිරුවක්, ඇය විසූ නිවහනට ආසන්නයෙන් ‘Gordon Square’ හිදී නිරාවරණය කෙරුණි. එය, දැනට ආසියානු කාන්තාවක් වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙන් පිදුණු ප්‍රතිමා ආකාරයේ පළමු සැමරුමයි.

මූණිස්සම් ඇය වෙතට තරඟයට මෙන් දිව එද්දී, එක්වනම ‘Liberte’ (නිදහස) යැයි බිණීමට තරම් නිභය වූ Noor – Inyat – Khan වෙනුවෙන්, මේ කෙටි කව ගැලපේ යැයි සිතේ.
“කිසිදු පිරිමියෙකුට
නිර්වචන දිය නොහැකි,
ඔබ….. ඔබේ කතාවයි.
ලොව තුළ ඇවිලෙන ඉතිහාසය ,
ඇයගේ කතාවයි.
ඔවුන් කියද්දී ,
කිරීමට නොහැකි
සියලු දේ ගැන ඔබට..
ඔබ හිනැහී කියයි ඔවුනට..
මම යුද්ධය මෙන්ම ගැහැණියයි.
එබැවින්
මා නවතනු නොහැකි වනු ඇත.”
(Nikita Gill විසින් රචිත කවියක පරිවර්තනයකි.)