දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ කතාබහට ලක්ව ඇති, මෙරට වෙළෙඳ අගනගරය වන කොළඹ සමස්ත පරිපාලනය සිදු කරන කොළඹ මහනගර සභාවේ පුරපති තෝරාගන්නා දිනය අද (16)ට යෙදී තිබේ.
පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වූ අතර ජාතික ජනබලවේගය පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ ය. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවිය.
එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.
ඒ අතර සමගි ජනබලවේගය පක්ෂය ද විපක්ෂ කණ්ඩායම් එක් කරගෙන බලය පිහිටුවන බව ප්‍රකාශ කළේ ය.
ස්වාධීන කණ්ඩායම් කිහිපයක සභිකයන් ජාතික ජනබලවේගයට සහය පළ කිරීමට එකඟතාව පළ කර තිබේ. ජාතික ජනබලවේගය සහ සමගි ජනබලවේගය යන දෙපාර්ශ්වයම බලය පිහිටුවන බව කියා ඇති කොළඹ නගර සභාව දෙවැනි පාර්ලිමේන්තුව මෙන් රටේ දේශපාලනයේ තීරණාත්මක ස්ථානයකි. එහි බලය පිහිටුවීමද දේශපාලන වශයෙන් වැදගත්කමක් ගනී. අද දිනයේ එම සටනේ ජය තීරණය වනු ඇති.