/ Jun 24, 2025

සීඅයිඩීයට හරක් කටාගෙන් ආශිර්වාද? දේශබන්දු ප්‍රථමවරට කමිටුවට දුන් ප්‍රකාශය මෙන්න!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝනගේ අනීතික සහ විෂමාචාර ක්‍රියා සම්බන්ධ චෝදනා ගැන සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ ඔහු ප්‍රථමවරට ඊයේ (23) සාක්ෂි ලබා දුන්නේ ය. පැය 10ක් පමණ පුරා ඔහු මෙම ප්‍රකාශය ලබා දී තිබේ.

එහිදී ඔහු පවසන්නේ, මෙරට මත්කුඩු ජාවාරම මර්දනය කිරීම පිණිස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් තමනට පොලිස්පති ධුරය ලබා දුන් බවයි. එකී සාකච්ඡාවට හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ද සහභාගි වූ බව ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, හරක් කටා නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා මෙහි ප්‍රධාන පුද්ගලයා බවත් පුද්ගලික ජෙට් යානා පවා යොදාගෙන රටින් රට ගිය බවත් අනුගාමිකයන් හරහා මෙරට මත් ජාවාරම සිදු කළ බවත් ඔහු කමිටුව හමුවේ ප්‍රකාශ කළේ ය. තම ආයතනය ඔහු අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනා බවද කියා සිටියේ ය.

හරක් කටා නමැත්තා, රහස් පොලිස් භාරයේ සිටියද ජාවාරම නොනැවතුණු බව කී දේශබන්දු තෙන්නකෝන්, රහස් පොලිසියේ සැඟවුණු ආශිර්වාදයක් ඔහුට තිබුණු බව හැඟී ගියේ යැයි ද කීවේ ය.

පළමුව චූදිත පොලිස්පතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවේ ඔහුගේ නීතිඥ එස්. වීරවික්‍රම විසිනි.

2023 නොවැම්බර් 30 වැනිදා ඔබ වැඩබලන පොලිස්පති ලෙස පත්වූ පසු හරක්කටා සම්බන්ධයෙන් විමර්ශන කළාද?

ඔව් ස්වාමීනි. ඔහුගේ ගෝලබාලයන් සම්බන්ධයෙන් සෙවීමට ජංගම දුරකතන අංක 3ක් ඔස්සේ විමර්ශන පවත්වලා තිබුණා. ඔහු සමග දුරකතනයෙන් සම්බන්ධ වූ පුද්ගලයන්ගේ නම් තමයි එහි තිබුණේ. එම ලැයිස්තුව මම අදාළ නිලධාරීන්ගෙන් ලබාගත්තා. එය ලබාදුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් මහතා. ඔහු ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා ඇතුළු පිරිසක් එම අවස්ථාවේදී සාකච්ඡාවකට පැමිණියා. එහිදී තමයි මට අදාළ ලැයිස්තුව ලැබුණේ.

එම සාකච්ඡාව රහස් සාකච්ඡාවක් ද නැත්නම් නීත්‍යානුකූල සාකච්ඡාවක් ද?

එම සාකච්ඡාව රාජකාරි වේලාව තුළ කැඳවා තිබුණු නීත්‍යානුකූල සාකච්ඡාවක්. මෙම සාකච්ඡාවේදී මට 149 දෙනකුගේ නම් හා දුරකතන අංක ඇතුළත් ලැයිස්තුවක් ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් මහතා ලබාදුන්නා.

අදාළ නම් ලැයිස්තුවට ඔබ මොකද කළේ?

ස්වාමීනි, එහිදී මම කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට වාචිකව උපදෙස් දුන්නා ලැයිස්තුව සම්බන්ධයෙන් විමර්ශනය කරලා නීතිමය කටයුතු කරන්න කියලා.

ඇයි එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන්නේ නැතුව කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන්නේ?

ස්වාමීනි, එවකට ක්‍ෂෘ එකේ හිටපු ලොකු ලොකු අයට හරක්කටාගෙන් මුදල් යනවා කියලා ප්‍රචාරයක් තිබුණා. ඔවුන් හරක්කටාගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඔවුන්ව අත්අඩංගුවට ගන්න බැරි වුණා. ඒ නිසා ක්‍ෂෘ යට දීලා අපේක්ෂිත අරමුණ ඉටුවන්නේ නැහැ කියලා දැනගත්ත නිසා මෙම පරීක්ෂණ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට භාර දුන්නා.

ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයා – කොළඹ අපරාධ කොට්ඨාසයට අදාළ බල ප්‍රදේශය කුමක්ද?

ස්වාමීනි, ඔවුන් වැඩ කරන්නේ කොළඹ ප්‍රදේශයේ. හැබැයි පොලිස්පතිගේ උපදෙස් මත පිට පළාත්වලට යන්නත් හැකියාව තිබෙනවා.

නීතිඥවරයා – දුරකතන අංක ඇතුළත් වාර්තාව වැඩබලන අධ්‍යක්ෂවරයාට දීලා ඔබ පැවසූයේ කුමක්ද?

ස්වාමීනි එම දුරකතන අංකවලට අදාළ පුද්ගලයන් හරක්කටා සමග කතාකර තිබෙන්නේ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ අපරාධ සම්බන්ධයෙන් නම් ඒ පිළිබඳ විමර්ශනය කරලා ඒ 149 දෙනාගේම වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් දුන්නා.

එම ලැයිස්තුවේ ඇතුළත් පුද්ගලයන් වැඩි වශයෙන් සිටියේ කුමන ප්‍රදේශවලද?

ඔවුන් මාතර, වැලිගම, පැලෑන, මිරිස්ස යන ප්‍රදේශවල සිටියේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය සම්පත් ලබාගන්න කියලා මම ඔහුට වාචිකව අනුමැතිය දුන්නා.

වැලිගම W15 හෝටලයට අදාළ පිරිස ගියේ නීත්‍යනුකූල ක්‍රියාවක් සඳහා ද?

“ඔව් මගේ අවසරය මත හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගැනීමට තමයි එම පිරිස ගියේ” 

සභාපති විනිසුරුවරයා එහිදී ක්ෂණිකව ප්‍රශ්න කළේ තවමත් ඔබේ මතය එය ම දැයි කියාය.

ඔව් යනුවෙන් පිළිතුරු ලැබුණි.

”වෙඩි තියපු හෝටලය ඉදිරිපිට තිබිලා SOCO නිලධාරින් උණ්ඩ කොපු 21ක් හොයාගෙන තිබුණා. නමුත් CCD නිලධාරින් පැවසුවේ ඔවුන් වෙඩි තිබ්බේ උණ්ඩ 9කින් විතරයි කියලා. පොලිස් ජංගම රථයේ නිලධාරින් වෙඩි තියලා තිබ්බේ උණ්ඩ 6යි. එකතුව උණ්ඩ 15යි. දැන් සැකයක් එනවා තුන්වෙනි පාර්ශ්වයක් වෙඩි තිබ්බාද කියලා. ” 

නීතිඥවරයා – W15 හෝටලයට වෙඩි තැබීම සඳහා ඔබට යම් වුවමනාවක් පවතියාද?

“මම එම හෝටලයේ අයිතිකරු කවුද කියලාවත් දන්නේ නැහැ. මට ඒ වගේ කිසිම අවශ්‍යතාවක් නැහැ. පුළුවන් නම් ඒ හිමිකරු හොයාගෙන අහන්න මාත් එක්ක පුද්ගලික තරහක් තිබ්බාද කියලා. මේක මාව මේ තනතුරෙන් ඉවත් කරන්න දේශපාලනිකව කරපු දෙයක්. මාව දින 20ක් බන්ධනාගාරගත කරලා තිබ්බා. මම මෙට්ටයක්වත් ඉල්ලුවේ නැහැ. මම මේ කමිටුව විශ්වාස කරනවා. මට සාධරණයක් වේවි. ඒ වගේම මේක ඉතිහාස ගතවේවී.”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් -CCD නිලධාරින් කවුරුත්ම එදා නිල ඇඳුමකින් ගියේ නැත්තේ? ඇයි යන්නයි

”මොකක් හරි උපක්‍රමයක් වශයෙන් ඔවුන් එහෙම ගියාද දන්නේ නැහැ. ඒක ඔවුන්ගෙන්ම තමයි අහන්න ඕනේ. නමුත් මම නම් කිව්වේ නැහැ ඔක්කොම සිවිල් යන්න කියලා” යනුවෙන් පිළිතුරු ලබාදුන්නා.

නීතිඥවරයා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගත්තා කියලා ඔබට චෝදනාවක් තියෙනවා?

”මම ක්‍රිකට් බෝඩ් එකත් එක්ක සමීපව කටයුතු කළා. මැච්වලට ආරක්ෂාව දෙන්න මුල්වෙලා කටයුතු කළා. ඊටපස්සේ ක්‍රිකට් බෝඩ් එකෙන් මට ලිඛිතව දැනුම් දුන්නා ඔවුන් විශේෂඥ ආරක්ෂක උපදේශක කියන තනතුර මට ප්‍රදානය කරන්න කැමතියි කියලා. ඒ සඳහා මට මතක විදියට මාසිකව රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබාදෙන්න ඔවුන් යෝජනා කරලා තිබුණා. මම ඒ ගැන තවකෙනෙක් එක්ක සාකච්ඡා කළා. ඔහු මට කිව්වා ඕක නම් ලෝක ලෙඩක් වෙයි ගන්න එපා කියලා. ඒ නිසා මම ලිඛිතව ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා මම ඒ තනතුරු භාරගන්නේ නැහැ මට ජොබ් දෙකක් කරන්න බැහැ කියලා.” 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top