/ Jun 29, 2025

ශිරන්ති අත්අඩංගුවට ගන්න යයි – මහින්ද තැතිගෙන මහනායක හිමි අමතයි!

කුප්‍රක්‍රට සිරිලිය සවිය ගිණුම හරහා සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට නියමිත බවත්, එයින් තැතිගැන්මට ලක් වූ මහින්ද රාජපක්ෂ එය වළක්වාගැනීමට ජනපති අනුර කුමාර දිසානායක අමතන්නැයි මහනායක හිමියන්ගෙන් ඉල්ලා සිට ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය ෆේස්බුක් සටහනක් තබමින් හෙළිදරව් කර තිබේ.

ඔහු පවසන්නේ, ශිරන්ති රාජපක්ෂගේ සොයුරා වූ හිටපු ශ්‍රී ලංකන් එයා සමාගමේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් රාජපක්ෂ පවුල බලවත් ලෙස සසලව ඇති බවයි.

2015 වසරේදී පළමුවරට සිරිලිය සවිය නම් උක්ත ශිරන්ති රාජපක්ෂට අයත් ගිණුම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) විමර්ශන ආරම්භ කළ අතර, කටඋත්තර ලබා ගැනීම සඳහා ඇය ගෙන්වීම පසෙක තබා කතානායක නිල නිවසේදී ඇගෙන් කටඋත්තර ලබා ගැනීමට සැලැස්වීමට තරම් බලපෑම් තියුණු විය.

සනත් බාලසූරිය මාධ්‍යවේදියා තැබූ සටහන පහතින්,

“ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්න” – මහින්ද රාජපක්ෂ

“දූෂිතයන් අත්අඩංගුවට ගන්න කියා බලකළ අපි කොහොමද කටක් ඇරලා එහෙම කියන්නේ?” – මල්වතු මහනාහිමි

සිරිලියටත් සිපිරිගෙයි සිරි හරියන ලකුණු?

ඉදිරි දිනෙක සිය බිරිය වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ලද තොරතුරකින් මහත් කලබලයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පසුගිය දා මල්වතු මහනාහිමි හමුවී එවැනි පියවරක් නොගන්නා ලෙසට ජනාධිපති අනුර දිසානායකට බලපෑම් කරන්නැ’යි ඉල්ලා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් මල්වතු මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විමසා ඇත්තේ, “ජනාධිපති තුමා, දූෂිතයන් අත්අඩංගුවට ගන්න කියලා පහුගිය කාලයේ බලකළ අපි කොහොමද කටක් ඇරලා අනුර ජනාධිපතිතුමාට එහෙම කියන්නේ?” කියා ය.

“අපි පසුගිය කාලයේ බලයට ආපු හැම නායකයන්ගෙන්ම දිගටම ඉල්ලුවේ දූෂිතයන්ට නිසි දඬුවම් දෙන්න කියලායි. ඒත් මොන තරම් පොරොන්දු දුන්නත්, කවුරුවත්ම ඒක කළේ නෑ‍. වත්මන් ජනාධිපතිවරයාටත් අපි බලයට පත්වෙන්න කලින් ඉඳලම කිව්වා, බලයට ආවොත් මේ රටේ මහජන මුදල් මංකොල්ල කෑ දූෂිතයන්ට එරෙහිව දැඩි පියවර ගන්න කියලා. එතුමා ජනාධිපති වුණාට පසුවත් අප එතුමන් හමුවූ අවස්ථාවල දී මේ කාරණය අවධාරණය කළා. ඉතින් එහෙම තියෙද්දී අපි කොහොමද දැන් කටක් ඇරලා කියන්නේ වංචා දූෂණ ගැන චෝදනාවක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගන්න එපා කියලා?” මල්වතු මහ නාහිමියන් හිටපු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් විමසා ඇත.

“මස්සිනාත් ගියා!”

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බව කියැවෙන්නේ කුප්‍රකට ‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් දැනට අලුත් වටයකින් සිදුවෙමින් පවතින විමර්ශනවල ප්‍රතිපලයක් වශයෙනි.

හිටපු ජනාධිපතිවරයා වඩාත් කලබලයට පත්ව ඇත්තේ, තමන් යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා වූ ශිරන්තිගේ සහෝදරයා, නිශාන්ත වික්‍රමසිංහ ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගත කිරීමට අල්ලස් කොමිසම කටයුතු කිරීමත් සමගිනි.

මෙතෙක් කල් කුමන රාජ්‍ය නායකයෙක්, කුමන ආණ්ඩුවක් යටතේවත් වංචා දූෂණවල මුදුන් ඇවරියට අත නොතැබෙනු ඇති ය යන සහතිකය, පාලන බලය හෙබවූ කවුරු කවුරුන් අතරත් අනියමින් හුවමාරු වී තිබූ නමුත්, වත්මන් ආණ්ඩුව යටතේ ඒ මුල් ඇවරියට ද අත තැබෙමින් ඇති බව නිශාන්ත වික්‍රමසිංහගේ සිද්ධියෙන් ද පෙනෙන්නට තිබීම මහින්දගේ කලබලයට හේතුවී තිබෙන බව දැනගන්නට ඇත.

මහනායක හිමියන් හමුවේ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ, “කිසිදු දිනෙක කටඋත්තරයක් දීමටවත් පොලීසියකට ගොස් නැති” සිය බිරින්දෑ අත්අඩංගුවට නොගන්නා ලෙස අනුර දිසානායක ජනාධිපතිවරයාට උපදෙස් දෙන ලෙස ය.

රනිල්ගේ කාලේ ‘ගෙදරටම ඇවිත්’ ගත් කටඋත්තර

සැක සහිත ‘සිරිලිය සවිය’ ගිණුම ගැන මුල්ම විමර්ශන සිදුකැරුණේ 2015 වසරේ ‘යහපාලන’ ආණ්ඩුව යටතේ එවකට පැවැති පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මඟිනි. එවර ශිරන්ති රාජපක්ෂගෙන් කටඋත්තරයක් ගැනීමට එහි නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේ, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ දුරකතනයෙන් ඇමතු හිටපු ජනාධිපති මහින්ද ඉල්ලා සිටියේ, සිය බිරින්දෑ FCID වෙත ගෙන්වා ගැනීම වෙනුවට ඇගේ කටඋත්තරය කතානායක නිල නිවසේ දී ලබාගන්නා ලෙස ය.

එදා රනිල් සාමාන්‍ය කටඋත්තර ගැනීමේ සම්ප්‍රදායය ඉවත දමමින් මහින්දගේ ‘ඩීල්මය’ ඉල්ලීමට ඉඩදුන්නේ ය.

එවකට කතානායකවරයා වූයේ චමල් රාජපක්ෂ ය. ඒ අනුව FCID වැනි විමර්ශන ආයතනයකට නොයා, තමන්ට සුවපහසු සහ කිසියම් ආධිපත්‍යයක් ඇති ස්ථානයක සිට කටඋත්තර දීමේ වරප්‍රසාදය එදා ශිරන්තිට ලැබිණි‍.

නීතිපති දෙපා: ගිල්ල තවත් වාර්තාවක්

අවසානයේ FCID විමර්ශන වාර්තාව නීතිපති උපදෙස් සඳහා යැවුණු අතර, එම වාර්තාවට නීතිපති දෙපාර්තමේන්තුවේ දී සිදුවූයේ මොකක්දැයි මේ වන තෙක් රහසක්ව පැවතිණි.

රනිල්ලාගේ ආණ්ඩුව යටතේ සිරිලිය විමර්ශන අන්තරස්දහන වූයේ එලෙසිනි.

මහින්ද සිය ඊනියා ‘සිංහල බෞද්ධකම’ ඉස්සරහට දමාගෙන කලෙක තමන්ට ද හිතවත් ආස්ථානයක සිටි මල්වතු නාහිමියන් හමුවන්නට ගොස් ඇත්තේ මහින්දලා රනිල්ලාගේ පෙළැන්තියෙන් ගිලිහී පාලන බලය වෙනත් පිරිසක් අතට පත්වූ පසු එවැනි ‘ඩීල්’ දමාගැනීමට හරිහමන් දොරක් තාමත් ඇරගන්නට බැරිවී ඇති බැවිනැ’යි කියැවේ.

මේ වනවිට අනුර දිසානායක ජනාධිපතිවරයා හදිසියේ හා ඍජුව දුරකතන මාර්ගයෙන්වත් සම්බන්ධ කරගැනීමට නොහැකි තත්ත්වයකට, හිටපු ජනාධිපති මහින්ද ඇතූළු පරාජිත බලවත් දේශපාලකයන් පිරිසක් මුහුණ දී සිටින බව වාර්තා වන අතර, ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ මැදිහත්වීම වඩාත් ඉක්මනින් හා වඩාත් බලපෑම් සහගත ලෙස සිදුකර ගතයුතුව ඇති බැවින් ඔහු මහානායක හිමියන් සම්බන්ධ කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.

ජනාධිපති අනුර මල්වතු පාර්ශවයේ මාහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ගේ බසට කිසියම් අවනත බවක් දක්වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතැයි ද වාර්තා වේ. මහින්ද එම මහානායක හිමිනම හමුවන්නට තීරණය කර ඇත්තේ එබැවින් බව ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත්, දූෂකයන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළයුතු ය, විමර්ශන හා අධිකරණ ක්‍රියාදාමයන් බලපෑම්වලට යටත් නොවී, ස්වාධීනව සිදුවිය යුතු ය යනුවෙන් පුළුල් මහජන මතයක් නව මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පැතිරගොස් ඇති බවට සහ මහනායක හිමිවරුන් වැනි ආධිපත්‍යධාරී ආගමික සංස්ථාපිතයන් පවා ඒ ස්ථාවරයට පැමිණ ඇති බවට, මහින්ද රාජපක්ෂ වැන්නකුට පවා මෙහිදී ලැබුණු ඍණාත්මක ප්‍රතිචාරය බලවත් සාක්ෂ්‍යයක් බව පෙනේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top