මහව දියබැටේ කැළෑබද ප්‍රදේශයක කාර් රථයක් තුළ පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ සිදුකළ විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවයි.
පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහු සන්තකයේ තිබූ රන් භාණ්ඩ, ජංගම දුරකථනය හා මුදල් රැගෙන පලාගොස් ඇති බවයි.
ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් ඊයේ (29) දොරටියාව සහ මහව ප්‍රදේශයේ සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 14කට වැඩි මුදල් ප්‍රමාණයක් ද ,ලක්ෂ 48ක් පමණ වටිනාකමක් ඇති රන් භාණ්ඩ ද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 19 සහ 27 යන වයස්වල පසු වන මහව සහ පිලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
පිළිස්සී මියගිය ව්‍යාපාරිකයා ගෙල සිරකර ඝාතනය කර පුළුස්සා ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබුණේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කුරුණෑගල, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයෙකි.
එම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිය විසින් පසුගිය 25වැනිදා දොරටියාව පොලිසියට පැමිණිල්ලක් ද සිදුකරමින් පවසා තිබුණේ ඔහු තම කොණ්ඩය කපන්නට යන බව පවසා එදින නිවසින් බැහැරට ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.