/ Jul 03, 2025

ඇසිඩ්වල ගිල්වා දිය කළ කොංගෝ නිදහසේ කාහල නාදය: ලුමුම්බා!

2025 ජුලි මස 02 වන දිනට (එනම් අද දිනට), අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ පළමු නායකයා වූ පැට්‍රිස් ලුමුම්බා ඉපිද සියවසක් සපුරයි. බෙල්ජියමේ යටත්විජිතවාදී පාලනයට එරෙහිව දශක ගණනාවක් පුරා පැවති අරගලයකින් පසු කොංගෝව දේශපාලන නිදහස ලැබුණි. ඔහු නිදහස් වූ කොංගෝවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ පළමුවන අගමැතිවරයා විය.  විප්ලවවාදී ජාතිකවාදියෙකු වූ ඔහු, නිදහස සඳහා අරගලයේ ප්‍රධාන නායකයෙකුද විය. සති දහයක පමණ ඉතාම කෙටිකලකින් කුමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගෙන කුරිරු අමානුෂික වදහිංසනයට ලක්කර මරාදැමුණු ලොව ප්‍රථම අගමැතිවරයා වන්නේ ද ඔහුය. එසේ මරාදැමූ හේතුවත්, කවුරු විසින් කාගේ වුවමනාවක් සඳහා සිදුකරන ලද්දක්දැයි, ලුමුම්බාගේ සියවන උපන්දිනය සමරන අද දින සොයා බැලීම වැදගත් යයි හඟිමි.

ලුමුම්බා කොංගෝවේ බටෙටෙලා ගෝත්‍රයේ, ඔනලුවා ගම්මානයේ උපත ලැබුවේය. රටෙහි අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම් හා සසඳන විට බටෙටෙලාවරු තරමක් කුඩා කණ්ඩායමක් වූහ. මුල් අවධියේ සිටම, ලුමුම්බාට බෙල්ජියම් කොංගෝවේ කළු මධ්‍යම පන්තියට සම්බන්ධවීම පිළිබඳ අවධානයක් තිබූ අතර, ප්‍රංශ සම්භාව්‍ය කෘති සහ දේශපාලන දර්ශනය පිළිබඳ හොඳ පාඨකයෙකු විය. ඔහු ස්ටැන්ලිවිල් (දැන් කිසංගානි) හි සිවිල් ජීවිතයේ කටයුතුවල තදින් නිරතවිය. බෙල්ජියම් යටත්විජිත පාලනය යටතේ, ලුමුම්බා තැපැල් ලිපිකරුවෙකු වූ අතර පසුව බියර් අලෙවිකරුවෙකු විය. ඔහු බෙල්ජියම යටතේ තම රටේ දුක්ඛිත තත්වයන් පිළිබඳව බුද්ධිමත් හා හාස්‍යජනක පොතක් වන ‘කොංගෝව, මගේ රට’ ලියා ඇත. එම පොතෙහි ඔහු කොංගෝවේ අනාගතය පීතෘවාදය, ගෝත්‍රිකවාදය සහ යටත්විජිතවාදයෙන් නිදහස සහ ජාතික සමගිය කරා ගමන් කිරීමට, බෙල්ජියම්වරුන් සමඟ සහයෝගීතා උත්සාහයක් කළ බව පෙනෙන්නට තිබුණි. 1950 දශකයේ මුල්භාගය වනවිට, කොංගෝවේ බෙල්ජියම් ලිබරල් පක්ෂය ඇතුළුව ස්ටැන්ලිවිල්හි සිවිල් කණ්ඩායම් ගණනාවක නායකත්වයට ලුමුම්බාට හිමිවිය. 1955 දී, ඔහු රජයේ සේවකයින්ගේ කොංගෝ වෘත්තීය සමිතියක ප්‍රාදේශීය සභාපති ධුරයකට පත්වීමත් සමඟ ඔහුගේ දේශපාලනයට පළමු නිල පිවිසුම සිදුවිය.

ලුමුම්බා බොහෝ විට රැඩිකල්, ජාතිකවාදියෙකු ලෙස හැඳින්වූ අතර, මුල්වසර කිහිපය තුළ ඔහුගේ දේශපාලනය අලුත් දෘෂ්ටිකෝණයකින් ආලෝකවත් විය. ආරම්භයේ දී, ‘නායකත්වය ගැනීමට’ ඔහු පසුබට වූවත්, කොංගෝවේ වාර්ගික සමානාත්මතාවය පිළිගත්තේය. ඔහු එසේ කළේ හැකි තරම් මිනිසුන්ට තේරුම් ගතහැකි මෘදු වචනවලිනි. 1952 දී ලියූ ලිපියක, “අප ඉදිරියෙහි ඇති මූලධර්මය වන ශිෂ්ටාචාරය සාක්ෂාත් කරගැනීම සඳහා අපට උදව්කිරීමට කැමති සියලු දෙනාටම අප සමඟ එක්සත්වන ලෙසත්, අපගේ කීකරුකම, පක්ෂපාතී සහ අවංක සහයෝගීතාවයද පොරොන්දු වෙමු” යනුවෙන් ප්‍රකාශ කිරීමට තරම් ලුමුම්බා දුර ගියේය. එම පණිවිඩය කොංගෝවේ බොහෝ බෙල්ජියම් නිලධාරීන්ගේ අවධානය දිනා ගත්තේ එහි ගෞරවනීය ස්වරය නිසාය.

1956 දී, චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ලුමුම්බාට මාස 12 ක සිර දඬුවමක් නියම කරන ලදී. සිරගතව සිටියදී, ඔහුගේ ඉදිරි දර්ශනය වෙනස්වීමට පටන්ගත් අතර, ඔහු වඩාත් රැඩිකල් ප්‍රසිද්ධියක් ලබාගත්තේය . ඒ කාලය තුළ, ඔහු බෙල්ජියම් කෲරත්වය සෘජුව ම අත්විඳිමින්, “යුරෝපීයයෙකු කිසි විටෙකත් තම බල්ලාටවත් දෙන්නේ නැති ආහාර” ඇතුළු දුක්ඛිත තත්වයන් ගැන ලියමින් තම දේශපාලන විඥානය තියුණු කිරීම ආරම්භ කළේය.

ලුමුම්බා කොංගෝ දේශපාලනයට වැඩිවැඩියෙන් සම්බන්ධ වූ අතර, අවසානයේ කොංගෝ ජාතික ව්‍යාපාරය (MNC) ආරම්භ කළේය. එය කොංගෝවේ පළමු ජාතික දේශපාලන පක්ෂය විය. විශේෂයෙන් ස්ටැන්ලිවිල්හී MNC බලය සහ ජනප්‍රියත්වය අඛණ්ඩව ඉහළ ගියේය. බෙල්ජියම් යටත්විජිත පාලන රජය විසින් ක්‍රමයෙන් නිදහස ලබාගැනීමේ ක්‍රියාවලියක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන නොසන්සුන්තාවය නිසා, කැරලි ඇතිකිරීම සම්බන්ධයෙන් ලුමුම්බා නැවත අත්අඩංගුවට ගන්නා ලදී. කෙසේ වෙතත්, පළාත්පාලන මැතිවරණවලදී MNC පුළුල් ජයග්‍රහණ ලබා ගත් අතර, අවසානයේ කොංගෝවේ නිදහස සඳහා වේදිකාව සැකසූ හා කඩිමුඩියේ කැඳවන ලද බ්‍රසල්ස්හී පැවති වටමේස සාකච්ඡාවට සහභාගී වීම සඳහා ඔහුව නිදහස් කිරීමට සිදු විය.

බලහත්කාරය සහ කෲරත්වය මත ගොඩනගා ඇති යටත්විජිත ජනපදය

කොංගෝවේ යටත්විජිත ඉතිහාසය සොයාබැලීමේදී, වසර 140 කට පෙර, 1885 වර්ෂයේදී යුරෝපීය නායකයින් වෙත බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජු දේශනයක් කළ අතර එහි හරය වූයේ “ශිෂ්ටාචාරය” යි. අප්‍රිකානුවන්ගේ ජීවිත වැඩිදියුණු කරන මානුෂීය හා දානපති මෙහෙවරක් ඔහු පොරොන්දු විය. ඔවුන් අප්‍රිකානු භූමිය කැබලිවලට බෙදා වෙන් කළහ. එහි ප්‍රතිඵලය වූයේ අප්‍රිකාව යටත්විජිතකරණය කිරීමයි. බටහිර බලවතුන් අප්‍රිකානුවන් පසෙකට දමා මහාද්වීපයේ ‘අයිතිය’ තමන් අතර බෙදාගත්හ. එදා ජර්මනියේ බර්ලින් නගරයේ රැස් වූ යුරෝපීය නායකයින්, ලියෝපෝල්ඩ් රජුට පෞද්ගලික ජනපදයක් පිහිටුවා ගැනීම සඳහා වර්ග කිලෝමීටර් මිලියන 2 (වර්ග සැතපුම් 770,000) කට වැඩි භූමියක් ලබා දුන් අතර එහි කැමති පරිදි කටයුතු කිරීමට නිදහස දී තිබුණි. එය ‘කොංගෝ නිදහස් රාජ්‍යය’ ලෙස හැඳින්වීය.

ඉතා ඉක්මනින්ම රබර් වගා කිරීම ඇරඹි අතර ඇත්දළ සහ ඛනිජද්‍රව්‍ය වෙළඳාම් කිරීමට යොදාගන්නා බලහත්කාර ශ්‍රමය මත යැපෙන කුරිරු, සූරාකෑමේ පාලනයක් බවට එය පත්විය. යටත්විජිත නිලධාරීන් දඬුවම් ලෙස ළමයින් ඇතුළු කොංගෝ වැසියන්ගේ අත් පා කපා වෙන් කළහ.

එහි ප්‍රචණ්ඩත්වය සහ ම්ලේච්ඡත්වය ඇතුළත් ‘කොංගෝ නිදහස් රාජ්‍යයේ’ පින්තූර, කොංගෝවේ සහ බෙල්ජියමේ ලේඛනාගාරවල අදටත් දකින්නට හැකි පරිදි ලේඛනගතකර ඇත. එහි ඇති එක් කුප්‍රකට සිදුවීමක ඡායාරූපයක, මිනිසෙකු පදික වේදිකාවක වාඩි වී වෙන්වුණු කුඩා පාදයක් සහ කුඩා අතක් දෙස බලාසිටී. ඒවා ඔහුගේ පස්හැවිරිදි දියණියට අයත් වූ අතර, ඔහුගේ ගමේ ප්‍රමාණවත් රබර් නිෂ්පාදනයක් නොතිබූ බැවින් ඇය මරාදමන ලද බව කියවෙන්නකි. එය අහඹු දඬුවමක් නොවීය. දෙවන ලියෝපෝල්ඩ්ගේ කෝටා සපුරා නොමැති විට, වහල්භාවයේ සිටි කොංගෝ වැසියන්ගේ අත්පා කපා දැමීම, සාමාන්‍ය දඬුවම්දීමේ ආකාරයකි. පාලකයින් යටත්විජිත ප්‍රජාවන්ගෙන් අනාථ දරුවන් පැහැරගෙන ගොස් සේවකයන් ලෙස වැඩකිරීමට හෝ පුහුණුකිරීමට “ළමා ජනපද” වෙත ප්‍රවාහනය කළහ. ඇස්තමේන්තුවලට අනුව ඔවුන්ගෙන් 50% කට වඩා වැඩි පිරිසක් එහිදී මිය ගියහ. ඒ සමය පුරා ඝාතන, සාගත සහ රෝගද එකතුව මිලියන 10 ක ජනතාවක් මරණයට පත් කිරීමට හේතුවූ නමුත්, ඉතිහාසඥයින් තවමත් සත්‍ය සංඛ්‍යාව පිළිබඳව විවාද කරති.

ලියෝපෝල්ඩ් කිසි විටෙකත් කොංගෝවට පයතබා නොතිබි නමුත්, එහි ලාභ බෙල්ජියමට සහ ඔහුගේ සාක්කුවලට පුරවා ගත්තේ ය. බෙල්ජියමේ “සත්වෝද්‍යානයක” මිනිස් ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පෙනී සිටීමට කොංගෝ වැසියන්ට බල කෙරුණි. ඔහු 1897 දී තම මාලිගා භූමියේ අප්‍රිකානු කෞතුකාගාරය ඉදි කළ අතර, එම භූමියේ කොංගෝ ජාතිකයන් 267 දෙනෙකු ප්‍රදර්ශන භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන “මානව සත්වෝද්‍යානයක්” ද ඉදිකළේය.

නමුත් මෙම අපයෝජන පිළිබඳ කටකතා පැතිරෙන්නට පටන්ගත් අතර මිෂනාරිවරුන් සහ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී ‘එඩ්මන්ඩ් ඩෙනේ මොරල්’ මෙම පාලනය හෙළිදරව් කළේය.1908 වනවිට, දෙවන ලියෝපෝල්ඩ්ගේ පාලනය අප්‍රිකාව ප්‍රචණ්ඩ ලෙස සූරාකමින් සිටිම දුටු සමහර යුරෝපීය නායකයින් එය හෙළා දුටුවෝ ය. බෙල්ජියම් පාර්ලිමේන්තුව ඔහුට ඔහුගේ රාජ්‍ය පාලනය අත්හැරීමට බලකළේය.

කොංගෝවේ වසර 75 ක බෙල්ජියම් පාලනය භීෂණයෙන් හා ජන සංහාරයෙන් පිරීගිය අතර, රටේ ධනය කොල්ලකෑමට ලක් විය. 1909 දී දෙවන ලියෝපෝල්ඩ් මිය ගිය විට, බෙල්ජියම් ජාතිකයන් සතුටින් හූ කියන හඬට ඉඩදෙමින් ඔහුව භූමිදානය කරන ලදී. නමුත් 20 වන සියවසේ මුල් භාගයේ ලියෝපෝල්ඩ්ගේ බෑණනුවන් වූ ඇල්බට් රජු, ගත වූ වසරවල සාර්ථකත්වයන් සිහිපත් කිරීම සඳහා ලියෝපෝල්ඩ්ගේ ප්‍රතිමාද ඉදිකරන ලදී.

ගෝලීය ආධිපත්යයට හා පරමාණු බෝම්බයට කොංගෝ රාජ්යයේ වැදගත්කම

ඇමරිකා එක්සත් ජනපදය කොංගෝවේ කුරිරු පාලනයේ මුල් සගයෙකු වූ අතර ඇමෙරිකානු ගෝලීය ආධිපත්‍යය සහ එහි පරමාණු අවි වැඩසටහන සඳහා කොංගෝව උපායමාර්ගිකව තීරණාත්මක විය. ඇමරිකාව මෙම අතිමහත් ස්වාභාවික ධනයට ගිජුවූ අතර 1945 දී පළමු පරමාණුක බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා කොංගෝ පතල්වලින් යුරේනියම් භාවිතා කළේය. එම විනාශකාරී බෝම්බ හෙළූ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට වූ අපරාධය හා එහි ප්‍රතිඵල අදත් දැකීමට පුළුවන. හිරෝෂිමාහී අනුස්මරණ සාම ප්‍රදර්ශනයක්ද පවතී. එහි මුල් කොටසේදී, ලෝකයේ පළමු පරමාණු බෝම්බ භාවිතයේ මානව බලපෑම සහ මිනිසුන්ට සිදුවූ දේ පිළිබඳ භයානක රූප සහ කථා වටා ඇති ඉතා වේදනාකාරී දර්ශන හරහා ඔබ යම් ආකාරයකට රැගෙනයනු ඇත. දෙවන කොටසේදී, පරමාණු බෝම්බය සංවර්ධනය වීමට හේතු වූ සන්දර්භයක් වෙත ගෙනයනු ලබයි. එය සිදුවූ ආකාරය කාටත් සිත් ඇදගන්නා සුළුවන අතර ප්‍රදර්ශනයට තබා ඇති එක් වැදගත් දෙයක් නම් ‘විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්’ එවකට ඇමරිකානු ජනාධිපති හැරී ටෲමන් වෙත යැවූ ලිපියයි. එහි ඔහු පවසන්නේ, බෝම්බය තැනීම සඳහා ‘දැවැන්ත යුරේනියම් ප්‍රමාණයන්’ බෙල්ජියම් කොංගෝවෙන් ලබා ගැනීමට අවශ්‍යවනු ඇති බවයි. එම ලිපිය කොංගෝවේ යුරේනියම් පතල වන ෂින්කොලොබ්වේ පතල පිළිබඳවය. එමෙන් ම බෙල්ජියම් කොංගෝවේ ෂින්කොලොබ්වේ යුරේනියම් භාවිතා කරමින් ඇමරිකාව හිරෝෂිමා සහ නාගසාකි මත පරමාණු බෝම්බ හෙළීමෙන් වසර 15 කට පසු කොංගෝවට නිදහස ලැබුණි. ලුමුම්බා ඔහුගේ නව අගමැතිකම භාරගත් විට, ඔහුට වුවමනා වූයේ කොංගෝවට එහි ස්වෛරීභාවය ස්ථාපිත කිරීමට සහ යුරේනියම් ඇතුළු ඛනිජ සහ ලෝහ සම්පත් මත තමන්ගේ ම පාලනය තහවුරු කරගැනීමටයි. ඇමරිකාවෙහි දැවැන්ත ස්වාභාවික ධනයේ උපායමාර්ගික කොටසක් අත්පත් කරගනු ලැබූවේ, යටත්විජිත සමයේදීම ‘කොංගෝ නිදහස් රාජ්‍යය’ තුළිනි. වර්තමානයේත්, එනම් පසුගිය සතියේද(27\06\2025), කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ රුවන්ඩාව අතර නැගෙනහිර කොංගෝවේ දශක ගණනාවක ගැටුම් අවසන් කිරීම සහ සංවර්ධනය කිරීම අරමුණු කරගත් ඇමරිකාව මැදිහත් වූ සාම ගිවිසුමකට වොෂින්ටනයේදී අත්සන් තබා ඇත. මෙම ගිවිසුමෙහි භෞමික අඛණ්ඩතාව, සතුරුකම් නතරකිරීම කිරීම සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසුරුවා හැරීම, නිරායුධකරණය යන කොන්දේසි සහිතව ඒකාබද්ධ කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත්ව ඇත. එය ‘එක්සත් ජනපද රජයට සහ ඇමරිකානු සමාගම්වලට කලාපයේ තීරණාත්මක ඛනිජ සඳහා ප්‍රවේශය ලබා ගැනීමටද මග පෑදීම’ සඳහන් කිරීම මගින් ඇමරිකානු අරමුණ පැහැදිලිවේ.

නිදහස්කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේපැතිකඩ

ලුමුම්බා රටේ පළමු අගමැති බවට පත් වූ ශ්‍රේෂ්ඨ අවස්ථාවේ, 1960 ජුනි 30 වන දින කොංගෝවේ නිදහස් උත්සවවලට ලියෝපෝල්ඩ් රජුගේ මී මුණුපුරා වූ, තරුණ රජ බවුඩොයින් සහභාගි වී තම මුතුන් මිත්තන්ගේ ජයග්‍රහණ වර්ණනා කරමින් අමුතු පීතෘවාදී කතාවක් කළේය. කොංගෝවේ පළමු ජනාධිපතිවරයා වූ ජෝසප් කසා වුබු, රජුගේ විකාරසහගත ප්‍රකාශවලට ගෞරවනීය ලෙස ප්‍රතිචාර දැක්වූ අතර, ලුමුම්බාට තම කතාව තුළින් බෙල්ජියම් යටත්විජිතවාදය දැඩි ලෙස හෙළාදැකීමට කාලය ලබාදුන්නේය. “අපි කළු ජාතිකයන් වූ නිසා උදේ, දහවල් සහ රාත්‍රියේ අපට විඳීමට සිදු වූ උපහාස, අපහාස සහ පහරදීම් අපි දනිමු” ඔහු පැවසීය. ලුමුම්බාගේ කතාව කොංගෝ වැසියන්ගේ යටත්විජිත අතීතය කෙරෙහි කෝපයෙන් පිරීඉතිරී ගිය අතර, ඔහු එකරැයකින් සැබෑ ජාතික නායකයා බවට පත්විය. බෙල්ජියම්වරු භීතියට පත් වූහ. කොංගෝව නිදහස සඳහා සූදානම් කිරීමට ඔවුන් කිසිසේත් ම උත්සාහයක් ගෙන නොතිබුණි. මන්ද, නිදහස දීමෙන් පසු දේවල් පෙරපරිදිම සිදුවනු ඇතැයි යන විශ්වාසයෙනි. නව අගමැතිට එය සිදුකිරීමට ඉඩදීමේ කිසිදු අදහසක් ඔවුන්ට නොතිබුණි. ඒ අනුව යුරෝපීයයන් හා ඇමරිකාව කටන්ගා පලාතෙහි ‘වෙන්වීමේ ව්‍යාපාරයක්’ නිර්මාණය කළහ. මෙම ඊනියා බෙදුම්වාදය තුළින් ලුමුම්බාගේ දෑත දුර්වල කිරීමට සැලසුම් කෙරිණි.

නිදහසින් දින පහකට පසු, එක අප්‍රිකානු නිලධාරියෙකුවත් නොසිටි කොංගෝ හමුදාව වන ‘ෆෝර්ස් පබ්ලික්’ කැරලි ගසා බෙල්ජියම් නිලධාරීන් එළවාදැමීම ආරම්භ කළේය. නායකයෙකු නොමැති හමුදාව කොංගෝවේ, බෙල්ජියම් සිවිල් ජනතාවට හිරිහැර කිරීමට සහ පහර දීමට පටන්ගත් අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් භීතියෙන් රටින් පලාගියහ. පරිපාලනයක් හෝ ආරක්ෂාවක් නොමැතිව විශාල භූමි ප්‍රදේශයක් හුදකලාවිය. එහි ප්‍රතිඵලය වූයේ අරාජිකත්වයයි. බෙල්ජියම් ජාතිකයන්, පැරෂුට් භටයින් මගින් තම සුදු ජනගහණය ආරක්ෂා කිරීමට කී නමුත්, එය බෙල්ජියම් පාලනය නැවත ස්ථාපිත කිරීමක් ලෙසින් කොංගෝ වැසියන් තේරුම්ගත්හ. ප්‍රධාන නගර බොහොමයක ව්‍යාකූල සටන් ඇතිවූ අතර නිදහසින් දින දහයකට පසු, බෙල්ජියමේ අනුග්‍රහය ඇතිව, කොංගෝවේ ධනවත්ම පළාත වන කටන්ගා වෙන්වීම, අවුල් සහගත තත්ත්වය තවත් උග්‍රකරවන්නක් විය.

සීතල යුද්ධයේ ගොදුරක් වූ ලුමුම්බා

උදව් ඉල්ලා ලුමුම්බා සහ කසා-වුබු එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතට යොමු විය. ආරක්ෂක මණ්ඩලය බෙල්ජියම් හමුදා කොංගෝවෙන් පිටතට ගෙන ඒම මෙන්ම, අවම වශයෙන් මහජන සාමය සහ පරිපාලනය යථා තත්ත්වයට පත් කිරීමට සාම සාධක හමුදාවක් යැවීම සඳහා ඡන්දය ලබාදුන්නේය. පළමු එක්සත් ජාතීන්ගේ භටයින් 3,000 දින තුනක් ඇතුළත අප්‍රිකානු රටවලින් පැමිණි අතර, ඊළඟ සති දෙක තුළ තවත් භටයින් 10,000 ක් පැමිණියහ. විශාල එක්සත් ජාතීන්ගේ සිවිල් කාර්ය සාධක බලකායක් විසින් රාජ්‍ය පරිපාලනය සතු ගුවන් තොටුපළවල්, රෝහල්, සන්නිවේදනය, මහ බැංකුව, පොලිසිය යනාදියෙහි හිඩැස පුරවා කොංගෝ වැසියන්ට තම රට පවත්වාගෙන යන ආකාරය ඉගැන්වීම ඇරඹීය. ලුමුම්බාට උදව් කිරීම ඇදහිය නොහැකි තරම් දුෂ්කර බව ඔප්පුවිය. ඔහුගේ අත්දැකීම් අඩුකම හා මතු වූ ගැටලු රාශියක් ඔහු ව්‍යාකූලත්වයට ඇදදැමීය. ඒ අතර ඔහු ලෝක මාධ්‍ය විසින්ද ඉහළින් තබන ලද අතර එය ඔහුව එක රැයකින් කීර්තිමත් පුද්ගලයෙකු බවට පත් කළේය.

සංවාදයේදී, ලුමුම්බා අසාමාන්‍ය මට්ටමකට කරුණාවන්ත විය. ඔහු එක් මිනිත්තුවකදී ප්‍රචණ්ඩකාරී පළිගැනීම්වලට තර්ජනය කරන අතර ඊළඟ මිනිත්තුවේදී විශාල හා විවිධාකාර ආධාර ඉල්ලා සිටියි. ඔහුගේ ප්‍රධාන ගැටලුව වූ, බෙල්ජියම් හමුදා සිටීම හා කටන්ගා වෙන්වීම තම සන්නද්ධ හමුදාව විසඳනු ඇතැයි ඔහු විශ්වාස කළ බවක් පෙනෙන්නට තිබුණි. එක්සත් ජාතීන්ගේ සාමසාධක භටයින්ට, බලය යෙදවීම හෝ කොංගෝවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම තහනම් කර තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සාකච්ඡා මාර්ගයෙන් බෙල්ජියම් හමුදා කටන්ගාවෙන් ඉවත් කිරීමට යන බවත්, බෙදුම්වාදී කටන්ගා බලහත්කාරය යටත්කර ගැනීමට යන්නේ නැති බව දැනගත්විට ලුමුම්බා කෝපයට පත් විය.

පැරුණි සෝවියට් සංගමයට කොංගෝවේ ලියෝපෝල්ඩ්විල්(කින්ෂාසා) හි තානාපති කාර්යාලයක් තිබිණ.

සෝවියට් සංගමයේ අභිප්‍රාය ලුමුම්බා හරහා කොංගෝ ආධිපත්‍යය දැරීම බවට ඇමරිකාව සැක කළේ ය. සෝවියට් “උපදේශකයින්” නිරන්තරයෙන් පෙනී සිටි බැවින් බටහිර මාධ්‍ය ලුමුම්බා සෝවියට් සගයෙකු ලෙස හැඳින්වීමට පටන්ගත්හ. කෙසේවෙතත්, සෝවියට් හමුදා ආධාර ලබාගැනීම සඳහා ඔහු කළ ආයාචනය සමඟ “Republique du Congo” යන පාඨය සහ කොංගෝ ධජය සහිතව සෝවියට් ප්‍රවාහන ගුවන් යානා එකොළහක් ඔහුගේ දේශපාලන කඳවුර වන ස්ටැන්ලිවිල් වෙත පැමිණීම මගින් බටහිර අදහස වැඩි දියුණු විය. ඇත්තවශයෙන්ම, ලුමුම්බා දෘෂ්ටිවාදයන් කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූ සහ සෝවියට් සංගමය හෝ වෙනත් කිසිවෙකු කෙරෙහි විශේෂ නැඹුරුවක් නොමැතිවූ දැඩි ජාතිකවාදියෙක් විය. ඔහු තමන්ට ලබාදීමට කැමති ඕනෑම මූලාශ්‍රයකින් උපකාර පිළිගැනීමට කැමතිවිය. ඔහුගේ පසුකාලීන ප්‍රකාශවලින් මානසික තත්ත්වය පිළිබඳ හොඳ උදාහරණයක් සපයයි. ඔහුගේ විරුද්ධවාදීන්ට එරෙහිව යුද්ධකිරීම ප්‍රතික්ෂේප කළ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය කොංගෝවෙන් බලහත්කාරයෙන් නෙරපා හැරීමට තර්ජනය කළේය. ලුමුම්බා සෝවියට් හමුදා සහාය ඉල්ලා සිටීමෙන් පසු, ඝාතනය කිරීමට සහ ඔහුට එරෙහි සියලු කුමන්ත්‍රණ දිරිමත් කිරීමට සීඅයිඒ ආයතනය බලය පවරගන්නා ලදී. කෙසේ වෙතත්, ලුමුම්බාගේ නිවස ආරක්ෂා කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂකයින් විසින් සීඅයිඒ ඝාතන ප්‍රයත්නයන් ගැන කටයුතුකළ ආකාරය ලොව මවිතයට පත් කළේ ය.

මෙම ම්ලේච්ඡ ක්‍රියාවන් අවසානයේ ඇමරිකානු දිරිගැන්වීම මත, ජනාධිපති කාසා වූබු හඬ අවදි කළ අතර, අත්තනෝමතික ලෙස පාලනය කිරීම සහ ජාතිය සිවිල් යුද්ධයකට ඇද දැමීම සම්බන්ධයෙන් ලුමුම්බා නෙරපා හරින බව ප්‍රකාශ කළේ ය. ලුමුම්බා ගුවන්විදුලියෙන් ප්‍රතිචාර දක්වමින්, කාසා වූබු පළවා හැර කොංගෝවේ ජනතාවට නැගී සිටින ලෙසත්, කොංගෝ හමුදාවට ඔහු සමඟ සිටින ලෙසත් ඉල්ලාසිටියේය. බටහිර රටවල් කාසා වූබුට සහාය දුන් අතර සෝවියට්වරු ලුමුම්බාට සහාය දුන් බැවින්, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම මැද කොංගෝව සීතල යුද්ධයේ පැතිවලට බෙදී ගියේය.

එක්සත් ජාතීන්ගේ හමුදා බලඇණියකින් ආරක්ෂාවූ ලුමුම්බා, අගමැති නිවසේ හුදකලාව ජීවත් වූ නමුත් ඔහුගේ බලකාලය අවසන්විය. දැඩි ඇමරිකානු පීඩනය යටතේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එහි කොංගෝ ආසනයේ නීත්‍යානුකූල අයිතිකරුවන් ලෙස ජනාධිපති කසා වුබු සහ නව හමුදා ප්‍රධානි ජෝෂප් මොබුටු පිළිගැනීමට ඡන්දය දුන් විට, ගැටුම අවසන් විය.

1960 නොවැම්බර් 25 වන දින, මෝටර් රථයක පිටුපස සැඟවී ගත් ලුමුම්බා රහසිගතව තම නිවසේ ආරක්ෂාව අතහැර ස්ටැන්ලිවිල්හි ඔහුගේ කඳවුරෙන් රටේ ඉතිරි ප්‍රදේශවලට සහාය ලබාදීමට පිටත් විය. අභ්‍යන්තර කොංගෝ දේශපාලනයට ඇඟිලි ගැසීමට අවසර නොතිබූ එක්සත් ජාතීන්ගේ හමුදාවට, ලුමුම්බාගේ පසුපස හඹා යන්නන්ගේ කටයුතුවලට සහාය නොවීමට හෝ බාධා නොකිරීමට නියෝග ලබා දී තිබුණි. මෙය මාරාන්තික තීරණයක් විය. ඒ අනුව මුවේකාහිදී, මොබුටුගේ සොල්දාදුවන් ලුමුම්බා අත්අඩංගුවට ගත්හ. ඔහු ලියෝපෝල්ඩ්විල් සහ අත්ලාන්තික් සාගරය අතර අඩක් දුරින් පිහිටි තයිස්විල්හි හමුදා කඳවුරේ සිරගත කරනලදී. අත්අඩංගුවේ සිටියදී පවා, ලුමුම්බාගේ ‘නිසැක බලාපොරොත්තුව’ පිළිබඳව කාසා වුබු සහ මොබුටු මෙන්ම සමහර විට ඇමරිකාව සහ බෙල්ජියම ද නොසන්සුන් කළේය. මේ අනුව, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හැමර්ස්ක්ජෝල්ඩ් සහ ඔහුගේ නියෝජිතයන් ලුමුම්බා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියදී, කාසා වුබු සහ මොබුටු ඔවුන්ගේ ඇමරිකානු-බෙල්ජියම් උපදේශකයින්ගේ සහාය ඇතිව සදහටම ඔහුව ඉවත්කිරීමට ක්‍රමයක් සෙවූහ. එක්සත් ජාතීන්ගේ සොල්දාදුවන් බලාසිටියදීම නිදහස් කොංගෝවේ පළමු රාජ්‍ය නායකයාගේ අවසාන දර්ශනය ලෝකයට දැනගන්නට ලැබුණි. ලේ වැගිරීම් සහිතව, බැඳ දමා සහ ඇස් බැඳ, ඔහුගේ සගයන් දෙදෙනා සමඟ රැගෙන යන ලදී.

කැලෑබද හුදකලා නිවසක, කටන්ගා සහචරයන් සහ සමහර බෙල්ජියම් ජාතිකයන් ලුමුම්බාට නැවත පහර දුන්නෝ ය. පසුව, ඔහුව ඔකිටෝ සහ එම්පෝලෝ නම් දුරස්ථ ප්‍රදේශයකට ගෙන ගොස්, මරා දමා නොගැඹුරු සොහොන්වලක වළලනු ලැබීය. පසුදා මළසිරුරු ගොඩගෙන, කපා සල්ෆියුරික් අම්ලයේ දිය කරන ලදී. ලුමුම්බා සහ ඔහුගේ සගයන් පිළිබඳ හඳුනාගත හැකි කිසිදු හෝඩුවාවක් ඉතිරිනොවූ අතර මියයනවිට පැට්‍රිස් ලුමුම්බාගේ වයස අවුරුදු තිස් හයකි.

සෝවියට් සංගමයේ තානාපති කාර්යාලයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ විදුලි පණිවුඩයක් සම්බන්ධ සටහනක සඳහන් වූයේ, ‘කොංගෝව ගැන කතා කළ විට, සෝවියට් නායක නිකිතා කෘෂෙව් ප්‍රකාශ කළේ ලුමුම්බාගේ මරණයට සෝවියට් සංගමය එක්සත් ජාතීන් වරදකරු ලෙස සලකන බවත්, එක්සත් ජාතීන්ගේ මහලේකම් හැමර්ස්ක්ජෝල්ඩ් පෞද්ගලිකව වගකිව යුතුබවත්, ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය බවත්ය’. ‘කස වුබු, ලුමුම්බාව කටන්ගා වෙත යැවූ බවත්, ඔහුව හැමර්ස්ක්ජෝල්ඩ්ගේ අනුග්‍රහයෙන් මරාදැමූ අතර ඔවුන් වැරදිකරුවන් බවත්, නඩු විභාග කළ යුතු බවත් කෘෂෙව් සඳහන්කර ඇත. ජාත්‍යන්තර සංවිධානය සාමය සඳහා සංවිධානයක් විය යුතු බවත්, නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනතාව පීඩාවට පත්කිරීමට සහ යටත්විජිතවාදීන්ට යටත්විජිත රඳවා ගැනීමට උපකාර කිරීමට භාවිතාකර ඇතිබවත් ඔහු පැවසීය. බෙල්ජියම් ජාතිකයන් පමණක් නොව විමුක්තිය සඳහා අරගලයට විරුද්ධ වන යටත්විජිතවාදීන්ට සහාය වන සංවිධානයකට සෝවියට් සංගමයේ සහාය දිය නොහැකිබව ඔහු පැවසීය’ යනුවෙනි. කෘෂෙව් විසින් ඉන්දීය අගමැති නේරුට ලියන ලද ලිපියක පවසන්නේ, “කොංගෝවට පමණක් ඛේදවාචකයක් නොවන එය, අප්‍රිකාවට පමණක් ඛේදවාචකයක් නොවේ. එය ලෝකයටම ඛේදවාචකයකි” යනුවෙනි.

1960–1961 කොංගෝ අර්බුදය තුන්වන ලෝකයේ සීතල යුද්ධය සමයේ තීරණාත්මක මොහොතක් විය. ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය සහ ඝානාවේ ප්‍රකාශිත සහ ලේඛනාගාර මූලාශ්‍ර සමඟ වර්ගීකරණය නොකළ සෝවියට් ලේඛන ඒකාබද්ධකර සොයාබැලීමේදි, කොංගෝ අර්බුදයේ වර්ධනයේදී සෝවියට් සංගමයේ කාර්යභාරය තක්සේරු කෙරේ. සෝවියට් රජය මුලින් කොංගෝවේ අලුතින් පිහිටුවන ලද ස්වාධීන රජය සමඟ ආර්ථික සබඳතා ඇති කරගැනීමට කටයුතු කළ නමුත්, කොංගෝවේ බටහිර මැදිහත්වීම් සහ සිවිල් යුද්ධයක් හමුවේ සෝවියට් නායකයින්ට ඔවුන්ගේ උපායමාර්ගය වෙනස්කිරීමට සිදුවිණි. සෝවියට් හමුදා ගැටුමට මැදිහත් වනබවට  කෘෂෙව්ගේ තර්ජන නොතකා, කොංගෝ නායක පැට්‍රිස් ලුමුම්බා හෝ අනෙකුත් සෝවියට් හිතැති කොටස්වල පැවැත්ම සහතික කිරීමට සෝවියට් සංගමයට මිලිටරි මැදිහත්වීමක වුවමනාවක් නොතිබුණි. මෙම ප්‍රතිඵලය අප්‍රිකාවේ සෝවියට් සාර්ථකත්වයේ කෙටි අවධියක් අවසන් කළ අතර, තුන්වන ලෝකයේ සෝවියට් ප්‍රතිපත්තිය සැලකියයුතු ලෙස වෙනස්කළේය.

කුරිරු ලෙස ඝාතනයට ලක්වූ ලුමුම්බා

ලුමුම්බා, අධිරාජ්‍යවාදයෙන් බිඳීයාමට පොරොන්දු වූ අතර සර්ව-අප්‍රිකානු සහයෝගීතාවයට (Pan African Solidarity) සහායවිය. අප්‍රිකාවේ යටත්විජිත තත්ත්වයට අභියෝග කරමින්, ගෝලීය උතුරේ මාරාන්තික සතුරා බවට ඔහු පත්විය. එය ඇමරිකානු ආයතනික අවශ්‍යතාවලට තර්ජනයක් වූ අතර සීතල යුද්ධ ව්‍යාකූලත්වයක් ඇති කළේය.

කොංගෝ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා රටේ අතිවිශාල සම්පත් භාවිතා කිරීමට ලුමුම්බා අදහස් කළේය. බෙල්ජියම් පාලනය යටතේ ඔවුන් කිව නොහැකි තරම් දුක්වේදනා විඳ දරාගත් අතර, එහි වතුකරයේ සහ පතල්වල මිලියන ගණනක් මිය ගියහ. කොංගෝ ජනතාවට විධිමත් නිදහසක් ලබා දීමට බල කෙරුණද, රබර්, ඇත්දළ සහ තඹ, දියමන්ති, රත්තරන් සහ තවත් බොහෝ ඛනිජ සම්පත්වලින් පොහොසත් භූමියේ සැබෑ නිදහසක් ලබාදීමට හෝ තම ආර්ථික වුවමනාවන් අත්හැරීමට පාලකයන්ට කිසිදු අදහසක් නොතිබුණි. ඇමරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයද එසේ කළේ නැත. 1960 ගණන් වනවිට, ඔවුන්ද කොංගෝවේ සම්පත් සූරාකමින් සිටි අතර අප්‍රිකාව තුළ තම ආර්ථික, දේශපාලනික සහ මිලිටරි බලපෑම පුළුල් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. එයට බාධාවක් නොවන තමනට අනුකූල, මිලදීගත් රජයක් පිහිටුවීමට අවශ්‍යවූ අතර ඊට ලුමුම්බා තර්ජනයක් ලෙස දුටුවේය. බෙල්ජියමේ සහාය ඇතිව ඇමරිකාව, ඔහු ධුරයෙන් ඉවත්කර සදහටම නිහඬ කිරීමට කුමන්ත්‍රණය කිරීම ආරම්භ කළේ එබැවිනි. මෙය සාක්ෂාත් කරගැනීම සඳහා, ලුමුම්බා පැවසූ පරිදි, “රට තවමත් තමන්ගේ ම දරුවන්ගේ අතේ නොමැති” බැවින්, එය ඇමරිකානුවන් ප්‍රයෝජනයට ගත්හ. නිදහසේ මුහුණුවර පිටුපසින්, බෙල්ජියම් හමුදා නිලධාරීන් කොංගෝවේ හමුදාව සහ පොලිසිය පාලනය කළහ. ඛනිජ සම්පත් සමාගම් තවමත් රටේ ධනය සහ දූෂිත දේශපාලනඥයන් තම දැඩි පාලනයේ රඳවාගෙන ඇත. අධිරාජ්‍යවාදයට යටත් බලවේග අත බලය ස්ථිරව තබා ගැනීම සඳහා ඇමරිකානු සීඅයිඒ, බෙල්ජියම් බුද්ධි අංශ සහ එම්16 වැනි අනෙකුත් බලවතුන්ගේ රහස් නියෝජිතයන් දිවා රෑ නොබලා වැඩ කරමින් සිටියහ.

අධිරාජ්‍යවාදය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවක් දැක්වූ අය අතර ජෝසප් මොබුටු ද විය. ඔහු බෙල්ජියම් යටත්විජිත හමුදාවේ කර්නල්වරයෙකු ලෙස කටයුතු කළ අතර අධිරාජ්‍යවාදීන් විසින් පාලනය කරනලද “නව” හමුදාවේ ප්‍රධානියා ලෙස පත්කරන ලදී. පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මොබුටු සීඅයිඒ සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළේය. සීඅයිඒ හි ඝාතන නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා, අගනුවර දේශපාලන සංවිධාන මර්දනය කරමින් හමුදා කුමන්ත්‍රණයක් දියත් කළේය.

1960 අගෝස්තු 25 වන දින සීඅයිඒ අධ්‍යක්ෂ ඇලන් ඩලස්ගෙන් ලැබුණු කේබල් පණිවිඩයක මෙසේ සඳහන් විය, “අපි කැස්ත්‍රෝ හෝ ඊටත් වඩා නරක පුද්ගලයෙකු හමුවීමු”. පසුව ඔහු කොංගෝවේ, ඇමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සි (CIA) ස්ථානාධිපතිවරයාට නියෝග කළේ, “ලුමුම්බා ඉවත් කිරීම හදිසි සහ ප්‍රධාන අරමුණක් විය යුතු අතර අපගේ රහසිගත ක්‍රියාමාර්ගයේ ඉහළ ප්‍රමුඛතාවයක් විය යුතුය” ලෙසය. ඇමරිකාව සහ බෙල්ජියම ලුමුම්බාගේ ප්‍රතිවාදී දේශපාලනඥයන්ට සහාය දුන් අතර, ඒ අනුව කර්නල් ජෝසප් මොබුටුගේ හමුදාවන් විසින් ලුමුම්බා පැහැරගෙන ගොස් ඝාතනය කෙරිණ. ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ සහාය ඇතිව මොබුටුගේ පාලනය තුළින්, රටේ නව යටත්විජිත ග්‍රහණය ශක්තිමත් කළේය.

කුරිරු ඝාතනයේ සිහිවටනයක් ලෙස සඟවාගත්රන් ආල්පිත දත

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නීත්‍යානුකූලව තේරී පත් වූ පළමු අගමැති පැට්‍රිස් ලුමුම්බා ඝාතනය 1961 ජනවාරි 17 වන දින සිදු විය. පෙර සඳහන් කළ පරිදි, මෙම දරුණු අපරාධය ඇමරිකානු සහ බෙල්ජියම් රජයන්හි අන්තර් සම්බන්ධිත කුමන්ත්‍රණයක කූටප්‍රාප්තියකි.  කෲරත්වයට ලක් වූ පිරිමින් සහ කාන්තාවන් ගැන ඉතිහාසය සිතන විට, ලුමුම්බාගේ දේහය භූමදාන කරන ලද නමුත්, පසුව ඔහුගේ ආධාරකරුවන් පෙළගැසීම වැළැක්වීමට, මළ සිරුර කොටසක්වත් නොතිබෙන පරිදි එය කැපූ අත් පාවලින් කැපූ, ඇඟිලි දක්වා හාරා, කැබලි කර, පුළුස්සා, ඇසිඩ්වල දියකර හරින ලදී.

රනින් ආලේපිත කොපුවක බහාලූ දතක් පමණක් පැට්‍රිස් ලුමුම්බාගේ ඉතිරිව ඇති එකම ශරීර කොටස විය. ඝාතනය අධීක්ෂණය කළ බෙල්ජියම් පොලිස් නිලධාරියා, දත ගලවා ලබාගත්තේ මන්දැයි තේරුම් ගන්නේ කෙසේද? “මම ලුමුම්බා කෑලි 34 කට කපලා, සිරුර ඇසිඩ්වල දියකළා. අප්‍රිකානු රාත්‍රියේ මැදදී, අපි ධෛර්යය ලබා ගැනීම සඳහා බීමතින් වැඩේ පටන්ගත්තා. අපි මළසිරුරු ඉවත්කළා. අමාරුම කොටස වුණේ දම්වැලකින් කැබලිවලට කැපූ ඒවාට ඇසිඩ් වත්කිරීමට පෙරයි. දත් කිහිපයක් පමණක් ඉතිරිව තිබුණා. ඒ වගේම සුවඳ. මම තුන් වතාවක් සෝදාගත්තත්, හැමවිටම ම්ලේච්ඡ අපිරිසිදු බවක් දැනුණා” මෙම වචන කොංගෝ නායක පැට්‍රිස් ලුමුම්බා අතුරුදහන්වී වසර හතළිහකට පසු 2002 මැයි 15 වන දින ජර්මානු රූපවාහිනියේ තිරගත වූ වාර්තා වැඩසටහනකදී, බෙල්ජියම් ජාතික පොලිස් කොමසාරිස් ජෙරාඩ් සූට්ගේ වචනවලින්ම පාපොච්චාරණය කෙරුණකි. ඔහු “දත” සිහිවටනයක් ලෙස තබාගත්තේය. 2016 දී, පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකදී, සූට්ගේ දියණිය ලුමුම්බාට අයත්යැයි පවසා “රන්කොපුවක් සහිත දතක්“ පෙන්වූ පසු, ඇයට එරෙහිව පැමිණිල්ලක් ගොනු විය. පසුව බෙල්ජියම් බලධාරීන් විසින් දත ලබාගන්නා ලදී. ඝාතනයට ලක්වූ කොංගෝ නායකයාගේ දත බෙල්ජියම ආපසු ඥාතීන්ට ලබාදිය යුතුබව විනිසුරුවරයා තීන්දු කළේය. මෙම දත සැබවින්ම ‘නිදහසේ වීරයාට’ අයත් බවට විනිසුරුවරයා “සංකේතාත්මක” සඳහනක් කළේය.

එය ජාතික වීරයෙකු ලෙස සැලකෙන මිනිසෙකුගේ ඉතිරි අවසාන සලකුණු විය. කොංගෝ නායක පැට්‍රිස් ලුමුම්බාගේ දත නැවත ලබා දෙන ලෙස, ඔහුගේ පවුලේ අය කළ ඉල්ලීමකට බෙල්ජියමේ යුක්තිය, යහපත් ප්‍රතිචාරයක් දැක්වීය. දත පැට්‍රිස් ලුමුම්බාගේ “ප්‍රතිලාභීන් වෙත ආපසු ලබා දෙනු ඇත” යනුවෙන් බෙල්ජියම් ෆෙඩරල් අභිචෝදක කාර්යාලය නිවේදනය කළේය. අවසානයේදී බෙල්ජියම් බලධාරීන් ඔහුගේ දරුවන්ට එය ආපසු ලබාදෙන ලදී. ලුමුම්බාගේ පුත් රෝලන්ඩ් ලුමුම්බා පැවසුවේ, දත නැවත ලබා දීමෙන් ඔහුගේ පවුලේ අයට “ඔවුන්ගේ ශෝකය අවසන් කරගැනීමට” හැකිවනු ඇති බවයි.

හිටපු බෙල්ජියම් අගමැති ඇලෙක්සැන්ඩර් ඩි කෲ, ලුමුම්බාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි “සදාචාරාත්මක වගකීම” බාරගත්තේය. “මෙය වේදනාකාරී සහ එකඟ නොවන සත්‍යයකි, නමුත් එය කතා කළ යුතුය”, “මිනිසෙකු ඔහුගේ දේශපාලන විශ්වාසයන්, ඔහුගේ වචන, ඔහුගේ පරමාදර්ශ නිසා ඝාතනය කරන ලදී”යි ඩි කෲ පැවසීය. දත ආපසු ලබා දීමෙන්, බෙල්ජියම බලාපොරොත්තු වන්න ඇත්තේ, මධ්‍යම අප්‍රිකාවේ ලේ වැකි සූරාකෑමේ වඩාත්ම ම්ලේච්ඡ හා නින්දිත කථාංගවලින් එකක් යටපත් කිරීමටයි. කෙසේ වෙතත්, ලුමුම්බා ඝාතනයේ තත්වයන් පිළිබඳ සත්‍යය මතුවීමට දශක ගණනාවක් ගත විය.

බෙල්ජියමේ නව රජු කොංගෝව වෙත සිය පළමු සංචාරය කළ නමුත්, විධිමත් සමාව අයැදීමක් නොකළේය. පිලිප් රජු “අතීතයේ තුවාල සඳහා තදබල කණගාටුව” ප්‍රකාශ කළ අතර, “ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සහ නින්දාවන්ට තුඩුදුන්”, “අසමාන සබඳතා, අසාධාරණ ලෙස සැලකීම සහ වර්ගවාදයෙන් සලකුණු වූ, පීතෘත්වයේ …. පාලනයක්” විස්තර කළා පමණකි. කෙසේ වෙතත් වසර 40කට පසු, බෙල්ජියම ඔහුගේ මරණයට “සදාචාරාත්මක වගකීම” දරණ බව පමණක් පිළිගත්තේය. මෙම ඝාතනය සිදුකරන ලද්දේ, අයිසන්හවර් ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් ඇමරිකානු සහ බෙල්ජියම සිදු කරන ලද හමුදා කුමන්ත්‍රණයකින් පසුව බව 2013 දී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්ද පිළිගනු ලැබීය.

කොංගෝවේ පැවති යටත්විජිතය, කුරිරු ලෙස සූරාකෑමට ලක්වීමත් සමඟ සිදුවූ කුරිරුකම් හඳුනා ගැනීමේ නව පියවරක් ලෙස, ඝාතනයට ලක්වූ යටත්විජිතවාදයට එරෙහි අරගලයේ නායකයාවූ ලුමුම්බාගේ නටබුන්හි ඉතිරිය වූ මෙම ධාතුව ගෞරවාන්විතව මිහිදන් කෙරිණ.

ලුමුම්බාගෙන් පසු නව යටත්විජිත ග්‍රහණයේ තතු

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ සහාය ඇතිව  කොංගෝවේ මොබුටුගේ පාලනය, රට මත නව යටත්විජිත ග්‍රහණය ශක්තිමත් කළේය. ඔහු යටතේ දශක තුනක ඒකාධිපති පාලනය තුළ, කොංගෝවේ වත්කම්වලින් 20% කට වඩා පාලනය කෙරිණි. ඔහුගේ පුද්ගල ධනය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ ගිය අතර එය භූ සම්පතින් පොහොසත් කොංගෝව ගත් විදේශ ණයබරට සමාන විය. ලුමුම්බාගේ ඝාතනයේ ප්‍රතිවිපාක තවමත් කොංගෝවේ තුළ දැනේ. ලොව දන්නා කොබෝල්ට් සංචිතවලින් අඩක් පමණ ඇතුළුව, ජංගම දුරකතනවල සිට විදුලි මෝටර් රථ දක්වා සෑම සම්මත ඉලෙක්ට්‍රොනික උපාංගයකම බැටරිවලට යොදනු ලැබෙන, ඩොලර් ට්‍රිලියන 24 ක් පමණ වටිනා අමුද්‍රව්‍ය කොංගෝ පොළොව තුළ ඇතැයි ගණන් බලා තිබේ. බහුජාතික සමාගම් කොංගෝවේ ධනය කොල්ලකෑම දිගටම කරගෙන යන අතර, එම රට පොහොසත් සම්පත් ඇති ලෝකයේ දුප්පත්ම රටවල් පහෙන් එකක් ලෙස හඳුනාගෙන ඇත. දිනකට ඩොලර් 2 ට අඩු ආදායමකින් යුත් මිලියන 60 ක් පමණ ජනතාවක් එහි ජීවත් වෙති. මෙවන් ඛේදවාචකයන් අප්‍රිකානු මහද්වීපයේ රටවල් අදටත් මුහුණදෙන යථාර්ථයකි. ආසියානු හා ලතින් ඇමරිකානු රටවල්ද මෙවන් අඳුරු ඉතිහාසයකට සාක්ෂි දරයි. ඔවුන් අදත් නව යටත්විජිතවාද පීඩනයෙන් මිදීමට සටන්කරමින් සිටී.

බෙල්ජියම, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය කුමන්ත්‍රණය කර ලුමුම්බා ඝාතනය කළහ. ඔහුව කැබලිවලට කපා, ඔහුගේ සිරුර ඇසිඩ්වල දියකර, බ්‍රසල්ස් වෙත ඔහුගේ දත් රැගෙන ගියහ, හුදෙක් ඒ ඔහු කොංගෝවේ නිදහස සඳහා අරගල කළ නිසාවෙනි. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපට දේශන පැවැත්වීමට පැමිණෙන්නේ මේ කුමන්ත්‍රණකරුවන්ය. පැට්‍රීස් ලුමුම්බා අප්‍රිකාවෙන් ඉවත ගෙනගිය පසුත්, ඔහු ලියූ අවසන් ලිපියේ පැවසූවේ, මනුෂ්‍යත්වය දිගු කල් දිනේවා! අප්‍රිකාව දිගු කල් දිනේවා! යනුවෙනි.

ලුමුම්බා නමින් මොස්කව්හි විශ්ව විද්‍යාලයක්

රුසියාවේ, පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය (RUDN), මොස්කව්හි රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් වන අතර, 1960 දී ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කරන ලද්දකි. එය “යටත් විජිතවාදී පීඩනයෙන් මිදුණු රටවල තරුණ ජනතාවට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා” ඇරඹිණ. 1961 දී කොංගෝ අගමැති පැට්‍රිස් ලුමුම්බාගේ මරණයෙන් පසු, යටත්විජිත විරෝධී ව්‍යාපාර සමඟ සෝවියට් සංගමයේ සහයෝගිතාවය සහ ස්වයංනිර්ණය සඳහාවූ ඔවුන්ගේ අරගලය පිළිබිඹු කිරීමට “පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලය” (උනිවර්සිතිඑත් ද්‍රෘෂ්බි නරෝදෆ් ඉමිනි පත්රීසා ලුමුම්බි) ලෙස නම් කරන ලදී. අධිරාජ්‍ය විරෝධී සහ සර්ව-අප්‍රිකානුවාදයේ සංකේතයක් ලෙස ලුමුම්බාගේ උරුමය, විශ්වවිද්‍යාලයක් සඳහා ඔහු සුදුසු නාමයක් බවට පත් කළේය. රුසියානු පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය, ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිසුන් ආකර්ෂණය කරගත් අතර තුන්වන ලෝකයේ ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකාවේ සහ සමහර යුරොපීය 150 කට වැඩි රටවල් ප්‍රමාණයක ශිෂ්‍යයන් දසදහස් ගණනින් උගතුන් ලෙස බිහිකර ලොවට දායාදකොට ඇත.

පැට්රිස් ලුමුම්බා අවසන් ලිපිය.

මගේ දයාබර බිරිඳ,

මම මේ වචන ඔබට ලියන්නේ එය කවදා ඔබ වෙත ළඟා වේවිද, නැතහොත් ඔබ එය කියවන විට මා ජීවතුන් අතර සිටීද යන්න නොදැනය.

අපේ රටේ නිදහස සඳහා වූ මගේ අරගලය පුරාම මම සහ මගේ සගයන් අපගේ මුළු ජීවිත කාලයම කැප කර ඇති අපගේ උතුම් අරමුණෙහි ජයග්‍රහණය ගැන මම කිසිවිටෙකත් අවිශ්වාසකර නැත. නමුත් අපේ රටට අවශ්‍ය වූ එකම දෙය නම් වටිනා ජීවිතයකට, මවාපෑමකින් තොරව ගෞරවනීයව, සීමාවන් නොමැතිව නිදහසට ඇති අයිතියයි.

මෙය කිසි විටෙකත් බෙල්ජියම් යටත්විජිතවාදීන්ගේ සහ ඔවුන්ගේ බටහිර සහචරයින්ගේ ආශාව නොවීය. ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරු දැරූ නිලධාරීන්ගෙන් සෘජු හෝ වක්‍ර, විවෘත හෝ සැඟවුණු සහයෝගය ලැබුණි. අපි උදව් ඉල්ලා සිට සියලු බලාපොරොත්තු තැබුවේ මෙම ආයතනය මතය.

ඔවුන් අපේ විරුද්ධවාදීන් කිහිප දෙනෙකු පොළඹවා, අනෙක් අයව මිලදී ගෙන සත්‍යය විකෘති කර අපේ නිදහසට මඩ ගැසීමට සෑම දෙයක්ම කළෝ ය.

මට කියන්න පුළුවන් මෙයයි – ජීවත්ව හෝ මියැදී, නිදහස්ව හෝ සිරගතව, සිටීම මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නොවේ.

ප්‍රධාන දෙය නම් කොංගෝවයි. අපගේ අසතුටින් සිටින ජනතාවගේ නිදහස ඔවුන් පාගා දමනු ලැබීමයි.

ඒ නිසා ඔවුන් අපව සිරගෙවල්වල සිර කර තබා ඇති අතර ඔවුන් අපව ජනතාවගෙන් ඈත්කර තබා ඇත. නමුත් මගේ විශ්වාසය විනාශ කළ නොහැකිය.

මගේ ජනතාව, ඉක්මනින් හෝ පසුවී ඔවුන්ගේ අභ්‍යන්තර හා බාහිර සතුරන්ගෙන් මිදෙනු ඇති බවත්, යටත් විජිතවාදයට ‘එපා’ යැයි පැවසීමට, නිර්ලජ්ජිතව මියයන යටත්විජිතවාදයට ‘එපා’ යැයි කීමට, පිරිසිදු දේශයක ඔවුන්ගේ ගෞරවය දිනා ගැනීම සඳහා ඔවුන් එකෙකු ලෙස නැගී සිටින බවත් මම දනිමි. එය මගේ හදවතට ගැඹුරින් දැනේ.

අපි තනිවී නැත. අප්‍රිකාව, ආසියාව, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම තම නිදහස සඳහා සටන්කරන නිදහස් ජනතාව සැමවිටම අපේ රටේ එක් යටත්විජිතවාදී හෝ යටත්විජිතවාදී කුලීහ මුදා හෝ සිටියදී, අරගලය අත් නොහරින මිලියන සංඛ්‍යාත කොංගෝ වැසියන් සමඟ උරෙන්උර ගැටී සිටිනු ඇත.

මා හැර යන සහ සමහර විට මට නැවත දැකීමට නොහැකි වන මගේ පුතුන්ට, කොංගෝවේ අනාගතය අපූරු බවත්, සෑම කොංගෝ වැසියෙකුගෙන්ම මෙන්, අපගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය යථාතත්ත්වයට පත්කිරීමේ උතුම් කාර්යය ඉටුකිරීම, මම ඔවුන්ගෙන් අපේක්ෂා කරන බවත් පැවසීමට කැමැත්තෙමි.

ගරුත්වය නොමැතිව නිදහසක් නැත, යුක්තිය නොමැති තැන ගෞරවයක් නැත, ස්වාධීනත්වයක් නොමැති තැන නිදහස් මිනිසුන් නැත.

කුරිරුකම්, අපහාස සහ වධහිංසා පැමිණවීම්වලට කිසිවිටෙකත් දයාව ඉල්ලාසිටීමට මට බලකළ නොහැක, මන්ද මම නිහතමානීව ජීවත්වී, මට පූජනීයවූ ප්‍රතිපත්ති අත්හැරීමට වඩා, අපේ රටේ ඉරණම පිළිබඳ නොබිඳිය හැකි සහ ගැඹුරු විශ්වාසයකින් හිස කෙලින් තබාගෙන මියයාමට කැමැත්තෙමි.

ඉතිහාසය කතාකරන දවසක් පැමිණෙනු ඇත. නමුත් එය බ්‍රසල්ස් ,පැරීසිය, වොෂින්ටනය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උගන්වනු ලබන ඉතිහාසය නොවනු ඇත.

යටත්විජිතවාදයෙන් සහ එහි රූකඩවලින් නිදහස දිනාගත් රටවල උගන්වනු ලබන ඉතිහාසය එය වනු ඇත.

අප්‍රිකාව තමන්ගේම ඉතිහාසය ලියන විට, උතුරට සහ දකුණට යන දෙපැත්තටම එය තේජස හා ගෞරවයේ ඉතිහාසයක් වනු ඇත.

මා වෙනුවෙන් නොහඬන්න. මගේ පීඩාවට පත් රටට එහි නිදහස සහ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වන බව මම දනිමි.

කොංගෝව දිගුකල් දිනේවා!

අප්‍රිකාව දිගුකල් දිනේවා!

පැට්‍රිස් ලුමුම්බා

තයිස්විල් බන්ධනාගාරය

ජයන්ත වැලිවිට

(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top