වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (14) දිනයෙන් පසු දඩ අයකර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
තවත් විශාල පිරිසක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට නියමිතව ඇති බවත් හෙට (15) දිනයෙන් පසු එම ප්‍රකාශ ලබාදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙලෙස දඩ අය කර ගැනීමට පියවර ගෙන ඇති බවත් එම කොමිසම පෙන්වාදෙයි.
මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති අතර දඩ ලබාගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කරන බව එම කොමිසම පවසයි.
ඒ අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රජයේ නිලධාරීන්ගෙන් සිය වැටුපෙන් අද දිනයෙන් පසු ප්‍රමාද වන දින සඳහා දඩ අයකර ගැනීමට නියමිතය.
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව 2025 වර්ෂය සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදීමේ දී මධ්‍යගත ඉලෙක්ට්‍රොනික ඉදිරිපත් කිරීමේ පද්ධතිය බලාත්මකභාවයට එළැඹෙන තෙක් වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශ ලිඛිතව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
පසුගිය ජුනි මස 30 වන දිනට වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ නිලධාරීන්ට එම ප්‍රකාශ ලබා දීම සඳහා තවත් සති 02ක සහන කාලයක් හිමි වූ අතර අදාළ සහන කාලය අද දිනයෙන් අවසන් වේ.
මේ වනවිටත් වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුව ආයතන ප්‍රධානීන් විසින් ඉදිරි දිනවලදී අල්ලස් කොමිසම වෙත යොමු කළ යුතු බව සඳහන්.
ඒ අනුව එම නිලධාරීන්ගෙන් නව දූෂණ විරෝධී පතන ප්‍රකාරව දඩ අය කර ගැනීමට නියමිත බවයි අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.