/ Sep 17, 2025

පිකාසෝ – ගුවර්නිකා සහ යුද භීෂණය

පැබ්ලෝ පිකාසෝගේ “ගර්නිකා” (ගුවර්නිකා) (Guernica) චිත්‍රය 20 වන සියවසේ වඩාත් ප්‍රසිද්ධ සිතුවමකි. ඔහුගේ දිගු නිර්මාණ ජීවිතයේ නිර්මාණ දහස් ගණනක් අතර එය අතිවිශාල හා ප්‍රචණ්ඩකාරී ප්‍රකාශිතයක් විය. පිකාසෝ ප්‍රථමවරට “ගුවර්නිකා” සිතුවම ප්‍රදර්ශනය කළේ, මීට වසර 88 කට පෙර, 1937 ජූලි මාසයේදී පැරිස් ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ පැවති ස්පාඤ්ඤ මණ්ඩපයේදීය. ස්පාඤ්ඤ රිපබ්ලිකන් රජය විසින් සිතුවම ප්‍රදර්ශනය කිරීම සඳහා ඉඩ ලබාදෙන ලදී. ප්‍රථමවරට ප්‍රදර්ශනය කරන විට එය අතිශයින්ම නූතන නිර්මාණයක් ලෙස සලකනු ලැබීය. ග්‍රහණය කරගන්නා, බිය ගන්වන, මුළු මිනිස් සංහතියටම කතාකරන, වඩාත්ම බලපෑම් සහගත පිකාසෝගෙ නිර්මාණය මෙය විය හැකිය.

යුද්ධයේ කුරිරු බව සිතුවම් කිරීම

එක් උදෑසනක අනතුරු ඇඟවීමකින් තොරව, ස්පාඤ්ඤයේ බාස්ක් නගරයක් වන “ගර්නිකා” වට බෝම්බ හෙළා සිදුකළ මෙම ප්‍රහාරයෙන් මහා විනාශයක් සහ කුරිරුලෙස මිනිස් ඝාතනයක් ඇතිවිය. පිකාසෝ ප්‍රංශයේ ජීවත්වූවත්, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය සහ එයින් ගෙනදුන් දරුණු ම්ලේච්ඡත්වයට, පිකාසෝ සිතුවමකින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීය. ඔහුගේ කෘති අතරින් වඩාත් හඳුනාගත හැකි වූ, “ඇවිග්නන්හි තරුණ කාන්තාවන්” (Les Demoiselles d’Avignon) චිත්‍රයෙන් පසුව “ගුවර්නිකා”, කලා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ යුද විරෝධී ප්‍රකාශනය බවට පත්විය. මෙම චිත්‍රය පිළිබඳ වඩාත් සවිස්තරාත්මකව බැලීමේදී, කලාකරුවාට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි, ‘මියුසියෝ රෙයිනා සොෆියා’ ජාතික මධ්‍යම කලාගාරයේ දැන් නැරඹිය හැකි කලා කෘතියක් නිර්මාණය කිරීමට තරම් වූ පෙළඹවීමක් යුධ විනාශයෙන් ඇතිවූ බව පෙනේ. සමහරවිට පිකාසෝගෙ වඩාත්ම බලපෑම් සහගත කෘතිය “ගුවර්නිකා” විය හැකියි. මිනිසුන් ග්‍රහණය කර ගන්නා, බිය ගන්වන, එය මුළු මිනිස් සංහතියටම කතා කරනු ලබයි. පිකාසෝගේ විශිෂ්ට ජීවිත කතාවේ එක් පරිච්ඡේදයක් දිගහැරෙන, 1937 පැරිස් ප්‍රදර්ශනයේ සිට වර්තමාන නිවහන දක්වා “ගුවර්නිකා” චිත්‍රය ගමන්කළ ආකාරය හා ඔහුගේ දේශපාලන නිර්මාණයන්හි ගමන් මග විමසීම වැදගත්ය.

පින්සල් පහරින් නිර්මිත යුද්ධයේ කුරිරු බව

දෙවන ලෝක යුද්ධය සඳහා පෙරහුරුවක් ලෙස, සිවිල් යුද්ධය අතරතුර, ස්පාඤ්ඤ ඒකාධිපති ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ නියෝග මත 1937 අප්‍රේල් 26 වනදින, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ (1936-1939) උච්චතම අවස්ථාව මධ්‍යයේ, ජර්මානු කොන්ඩෝ සේනාංක සහ ඉතාලි අවියාසියෝන් බලඝන සේනාංකයෙහි ෆැසිස්ට් බෝම්බකරුවන්, ස්පාඤ්ඤයේ බාස්ක් පළාත ඉහළින් පියාසර කළහ. ඔවුන් ගර්නිකා නම් කුඩා නගරය විනාශ කළ අතර, ගුවන් යානා 59 ක් පමණ, පැය කිහිපයක් පුරා අනුපිළිවෙලින් ටොන් 22 ක බෝම්බ හෙළූහ. නගරය විනාශවී දැවෙන නටබුන් බවට පත්කළහ. මෙම අනාරක්ෂිත නගරයේ 7,000 ක මුළු ජනගහණයෙන් සිවිල් වැසියන්ගේ මරණ සහ තුවාල පිළිබඳ ඇස්තමේන්තු 200 සිට 1,000 දක්වා වෙනස්විය. බෝම්බකරුවන් තම පහරදීම අත්හැරීමෙන් පැය කිහිපයකට පසු, ලන්ඩන් ඩේලි එක්ස්ප්‍රස්  පුවත්පතේ ‘නොයෙල් මොන්ක්’ නගරයට ඇතුළු වූ පළමු වාර්තාකරුවන්ගෙන් කෙනෙකි. ඇසින්දුටු සාක්ෂිකරු ‘මොන්ක්’  (1955 දී) මෙසේ ලිවීය, “සති ගණනාවක් තිස්සේ මා හොල්මන් කළ දසුනක් වූයේ, නිවසක බිම් මහලක් ලෙස පැවති ස්ථානයක එකට ගුලිවී සිටි කාන්තාවන් සහ ළමයින් කිහිප දෙනෙකුගේ පිළිස්සුණු මළසිරුරුය. එය සරණාගත කඳවුරක් විය, සරණාගත ස්ථානයක් විය.”

මෙම නගරයට හෙළා ඇති ෆැසිස්ට් බෝම්බ ප්‍රහාරක විනාශය පිළිබඳ පුවත පැතිරයාමට පෙර කලාකරුවා ඔහුගේ චිත්‍රාගාරයේදී, ස්පාඤ්ඤ කවියෙකු වන ‘ජුවාන් ලැරියා’ගේ ඉල්ලීම පරිදි, පිකාසෝ සුපුරුදු දිශාව වෙනස්කරමින්, ප්‍රහාරය ගැන නිර්මාණය තෝරාගත්තේය. සිතුවම ඇඳීම ඔහු අප්‍රේල් අග හෝ මැයිමස මුලදී ආරම්භ කළ අතර ජුනි මස 4 වන දින අවසන් කළේය. පිකාසෝට ඇමරිකානු කලාකරු ‘ජෝන් ෆෙරන්’ සහාය වූ අතර, එවකට පිකාසෝගේ අනියම් බිරිඳ වූ ‘ඩෝරා මාර්’, සිදුවෙමින් පැවතුණු කාර්යය ඡායාරූපගත කළාය. (පිකාසෝගේ තේමාත්මක හැරවුම දිරිමත් කිරීමේදී ‘මාර්’ ද ප්‍රධාන විය). ගුවර්නිකා ඉතා විශාල චිත්‍රයකි, එය උස අඩි 11 අඟල් 5 ත්, පළල අඩි 25 අඟල් 6 ත් අතර ප්‍රමාණයකින් යුක්තය. පිකාසෝ, වේදනාවේ සහ විරෝධතාවේ හඬක් ලෙස නිර්මාණය කළ සිතුවමට ජාත්‍යන්තර අවධානය වහාම ඉල්ලා සිටීමට පෙළඹුණි. එහි විලාසය ලෙස, අවුල්සහගත බව සහ දුක් වේදනා නිරූපණය කිරීම සඳහා කියුබිස්ට් අංග භාවිතා කරමින් නාවික නිල්, කළු සහ සුදු ඒකවර්ණ රටාවකින් පාටකර ඇත. පිකාසෝ දර්ශනය සකස් කළේ සතුන් සහ මිනිසුන් වේදනාවෙන් උමතුවෙන් සිටින පසුබිමකය. විවිධ වේදනා අවධීන්හි සිටින කාන්තාවන් හතර දෙනෙක් සංයුතියේ ආධිපත්‍යය දරති. (“කාන්තාවන් දුක් විඳීමේ යන්ත්‍රවේ” යැයි පිකාසෝ පසුව ඔහුගේ චරිතාපදාන රචිකාවක් වූ ‘ෆ්‍රැන්කොයිස් ගිලොට්’ට පැවසීය) දකුණු පස ඇති කැන්වසය මත ගින්නක් ඇවිළෙන අතර, කාන්තාවක් ගිනිගනී, වම්පස මවක් තම මියගිය දරුවා මහත් ඕනෑකමින් දරාගෙන සිටින අතර, අවතාරයක් මෙන් ගොනෙකු ඔවුන් මතට පැමිණේ. දම්වැල් සන්නාහයෙන් සැරසුණු බියටපත් අශ්වයෙකු සිතුවමේ මැද සිටී. හෙල්ලයක් සමඟ දිවයමින්, කැඩුණු කඩුවක් අල්ලාගෙන සිටින රූපයක් පාගා දමයි. බොහෝවිට උණුසුම් සටනේදී අශ්වයෙකු මතින් විසිකරන ලද නයිට්වරයෙකු විය හැකිය. ඇස් හැඩැති සිවිලිමේ සවිකිරීම, නිරය පිළිබඳ නූතනවාදී දර්ශනයක් බියජනක ලෙස ආලෝකමත් කරයි. එය උපමාවන් වුවද, එහි අර්ථය සාකච්ඡා කිරීම පිකාසෝ ප්‍රතික්ෂේප කළේය.

“ගුවර්නිකා” සංකේතාත්මක රූපවලින් පොහොසත්ය. සමහර ප්‍රධාන අංග අතරට ගොනකු බොහෝ විට යුද්ධයේ කෲරත්වය සහ ෆැසිස්ට් පාලනතන්ත්‍රයේ කෲරත්වය යන දෙකම නියෝජනය කරනලෙස අර්ථ දැක්වේ. එහි වැදගත්කම,  ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුද විරෝධී සිතුවම්ලිවලින් එකක් ලෙස සහ සාමයේ සංකේතයක් ලෙස පුළුල් ලෙස සැලකීමයි. කලාකෘති වටිනාකම් තක්සේරු විශේෂඥයින් විසින්, “ගුවර්නිකා” සිතුවම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ වටිනාකමකින් යුක්ත යැයි තක්සේරු කර ඇත. එසේ වුවත් එය විකිණීමක් හෝ වෙන්දේසි කිරීමක් සිදු නොවේ.

ආරම්භයේ සිටම මතභේදාත්මක තත්වයක් “ගුවර්නිකා” වටා පැවතුණි. පැරිසියේ පැවති ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී එයට නිෂේධාත්මක ප්‍රතිචාරද ලැබුණි. ගෘහ නිර්මාණ ශිල්පීයකු වන ‘ලේ කෝබසියර්ට’ අනුව, “අනුග්‍රාහකයින්ට එය පිළිකුල් විය”. “ගුවර්නිකා අවුල්සහගතයි. පිකාසෝගේ කෝපය සහ ශෝකය සෑම පින්සල් පහරකින්ම දැනිය හැකිය. එකවරම පහසුවෙන් දැකීමට නොහැකි තරම් විශාල බැවින්, ඊට පසුපසට වී සිටින ලෙසත්, අප දකින දේ සිතාබැලීමට කාලය ගතකරන ලෙසත්” ඔහු ඉල්ලා සිටියේය.

ගුවර්නිකාට පෙර, පිකාසෝ කිසි විටෙකත් ඔහුගේ කලාවේ දේශපාලන තේමාවන් ආමන්ත්‍රණය කර නොතිබුණි. බොහෝ දෙනෙකුට මෙම විශාල කැන්වසය යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය සහ බලාපොරොත්තු රහිත බව මූර්තිමත් කරනු ලබයි. එහි සංකේතවාදය පැහැදිලි කිරීමට විමසූවිට, පිකාසෝ පැවසුවේ, “සංකේත නිර්වචනය කිරීම චිත්‍ර ශිල්පියාට බාර නැත. එසේ නොමැතිනම් ඔහු ඒවා හුඟක් වචනවලින් ලියා තැබුවහොත් වඩා හොඳය. චිත්‍රය දෙස බලන ජනතාව සංකේත තේරුම් ගන්නා ආකාරයට, අර්ථ නිරූපණය කරගත යුතුය” යනුවෙනි.

තුවාල වූ අශ්වයා: සමහර විට කඩුවකින් හෝ හෙල්ලයකින් පිහියෙන් ඇන ඇති ස්පාඤ්ඤ ජනතාවගේ දුක් වේදනාවල සංකේතයකි. ශෝකජනක මව: ඇගේ මියගිය දරුවා අල්ලාගෙන සිටීම, අහිමි වීමේ සහ බලාපොරොත්තු සුන්වීමේ බලවත් රූපයකි. වැටෙන රූපය: කැපූ අතක් සහ කැඩුණු කඩුවක් සහිත සොල්දාදුවෙක්, පරාජය සහ මරණය සංකේතවත් කරන්නකි. පහන: සත්‍යය සඳහා බලාපොරොත්තුව සහ තාක්ෂණයේ විනාශකාරී බලය යන දෙකම නියෝජනය කළහැකි, දර්ශනය ආලෝකමත් කරන ආලෝක ප්‍රභවයකි.

ගුවර්නිකාවෙනත් විදිහට කියවමු

චිත්‍රය, විශාල තුවාලයකින් උදරය විවර වී ඇති දැවැන්ත අශ්වයෙකු, විකෘති වූ ගොනෙකු අසලින් මැද පුරවයි. වම් කෙළවරේ, කාන්තාවක් ඇගේ මියගිය දරුවා තොටිල්ලේ තබාගෙන සිටින අතර, දකුණු පසින් කාන්තාවක් පුළුස්සා දමයි. පහළින්, මිනිසෙකු මියගොස්, කැඩුණු කඩුවක් අතේ තබාගෙන සිටී. ඉහළින්, මිනිසුන් දෙදෙනෙක් සැරිසරති, එක් අයෙක් පහනක් රැගෙන යන ආකාරය හා තවත් අර්ථයන්ද එක්කර ඇත.

මෙම අවුල්සහගත තත්ත්වය තේරුම් ගැනීමට නම්, පිකාසෝගේ ‘ගුවර්නිකා’ සිතුවම විකට චිත්‍රයක් මෙන් කියවීමෙන් එයින් පවසන කතාව තේරුම් ගැනීමට නව ක්‍රමයක් ලැබෙන බව, එංගලන්තයේ ෂෙෆීල්ඩ්හි, හලාම් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි සහ නිර්මාණාත්මක ලේඛන පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ‘
හැරියට් අර්ල්’ පවසයි. “මම විශ්වාස කරන්නේ ගුවර්නිකා යනු චිත්‍රයක් පමණක් නොවන බවයි. එය විකට චිත්‍රයක්ද වෙනව. මෙය අමුතු ප්‍රකාශයක් ලෙස පෙනෙන්නට පුළුවන්. පුවත්පත්වල සහ ලාභදායි ලෙස මුද්‍රණය කරන ලද සඟරාවල කියැවෙන කෙටි විහිළු කතා, විකට චිත්‍ර, බොහෝවිට පහත් කලා ආකාරයක් ලෙස සැලකෙනවා. නමුත් “විකට චිත්‍ර ඇත්තටම කුමක්දැයි යනු දන්නේ ඉතා සුළු කොටසක් පමණයි”.

“මෙම කලා ආකෘතිය කතන්දර කීමේ පැරණිතම ක්‍රමවලින් එකක් වන අතර, එහි මූලාරම්භයේදී, රූපවලින් කියන ඕනෑම වෘතාන්තයක් සඳහා භාවිතා කළ හැකිය. වචන බොහෝවිට මෙම රූප සමඟ පැමිණෙන නමුත්, සෑමවිටම එය එසේ නොවේ. විෂයබද්ධ ප්‍රවීණයින් ‘කොමික්’ නිර්වචනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිරන්තරයෙන් විවාද කරමින් සිටින අතර ස්ථිර පිළිතුරක් සොයාගෙන නොමැත. නමුත් මට නම්, ‘කොමික්’ යන්නෙන් අදහස් කෙරෙන්නේ රූපවලින් කතන්දර කීමේ හා අනෙක් පැත්තට, රූපවලින් කතන්දර කියවීමයි.

“ගුවර්නිකා” අවුල් සහගත දර්ශනයක, බොහෝ රූප චලනය වෙමින් පවතී. සිතුවම එක් කාමරයක් තුළ ඇතිබව පෙනේ, ජනෙල් සහ දොරවල් කිහිපයක් විවෘතව ඇත. පැහැදිලිව චිත්‍රයට නගා ඇති කවුළු දෙකක්, අවම වශයෙන් විවෘත දොරක් සහ කොණක් ඇත. සිතුවමේ මැද, ටයිල් කළ වහලක් ඇත. අපි ඇතුළත හෝ පිටත සිටිනවාදැයි ප්‍රශ්නයකි. අපගේ ස්ථාවරයේ අපැහැදිලි බව සිතුවමේ ඉතිරි කොටසේ බෝම්බ හෙළීමේ අවුල්සහගත බව පිළිබිඹු කරයි. අපට සිතුවම සිරස් කොටස් තුනකට බෙදිය හැකිය. විකට පාරිභාෂිතය භාවිතා කරමින්, වම් කොටස එක් පුවරුවක් වන අතර පසුව දකුණු භාගය පැනල් දෙකකට බෙදා ඇත.

අපට සිතුවම වමේ සිට දකුණට කියවිය හැකිය. මැද සිටින රූප වමට ප්‍රතික්‍රියා කරන අතර, දකුණු පස ඇති රූප මැදට ප්‍රතික්‍රියා කරයි. ගුවර්නිකා අපට අනුපිළිවෙලෙහි සැනසීම ලබාදෙන්නේ නැත. සෑම කෙනෙකුම එකවර චලනය වෙමින් කෑගසමින්, මියයමින් සහ සාක්ෂි දරමින් සිටී. ක්‍රියාව සිදුවන්නේ අනුපිළිවෙලින් නොව, ඒ සමඟමයි.

බොහෝ සිතුවම්වල තනි නාභිගත ලක්ෂ්‍යයක් ඇති අතර එය නරඹන්නාට සිතුවමේ ඉතිරිකොටස නැරඹීමට ඉඩදීමට පෙර, ඇස ආකර්ෂණය කරයි. ගුවර්නිකාහි නාභිගත ලක්ෂ්‍යයක් නොමැතිකම සහ බහු පැනල්වල අවුල් සහගත බව, නැරඹීමට දුක්ඛිත සහ සිදුවීමේම අවුල් සහගත බව නියෝජනය කරන රූපයක් නිර්මාණය කරයි.

ගුවර්නිකාගේ විකාර-රූපී අංග අපට හඳුනාගත හැකි නම්, විකට ආකෘතිය මාධ්‍යයේ බොහෝ අංශවලට විනිවිද යන ආකාරය අපට දැකගත හැකිය. පර්යේෂකයෙකු ලෙස, ඉඳිකටු වැඩ පිළිබඳ (බොහෝ දුරට කාන්තා කේන්ද්‍රීය) ඉතිහාසය විකට සහ කතන්දර කීම සමඟ සම්බන්ධවන ආකාරය ගැන මම සැලකිලිමත් වෙමි. විකට චිත්‍රපට යනු සුපිරි වීරයන් ගැන හෝ ළමයින් සඳහා ලියා ඇති ඒවා පමණක් නොවේ. ආකෘතිය සියලු වර්ගවල පාඨකයින්ට විවෘතය.

දරුවන්ට කියවීමට සහ කතන්දරකීම ගැන ඉගෙනගැනීමට ඉගැන්වීමට, විදේශීය භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමට සහ පහළ මට්ටමේ සාක්ෂරතාවය සඳහා විකටකතා භාවිතා කළ හැකිය. විකටකතා ඒවායේ දෘශ්‍ය ස්වභාවය අනුව, බොහෝ මට්ටම්වල වැඩ කිරීමට නිර්මාණය කර ඇත.

පිකාසෝගේ විශ්මයජනක කලාකෘතිය විකට චිත්‍රයක් ලෙස බැලීමෙන් එහි බලය අඩු නොවේ. එය කියවීමට සහ එය පවසන කතාව තේරුම්ගැනීමට අපට නව රාමුවක් ලබාදෙයි. දිලිසෙන ලාම්පුවේ කුඩා බලාපොරොත්තුව සමඟ, කතාව ප්‍රචණ්ඩත්වය, කම්පනය සහ විනාශයේ එකක්වේ.

ගුවර්නිකා විකට චිත්‍රයක් ලෙස කියවීමේදී සිතුවම ස්ථානගත කරන්නේ උසස් ලලිතකලා කෘතියක් ලෙස නොව, ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රසිද්ධ කියවාගැනීමක් ලෙසයි. මීට පිකාසෝ විසින්ම ප්‍රශංසා කරනු ඇති බවට මට කිසිදු සැකයක් නැත” යනුවෙන් හැරියට් අර්ල් ‘The Conversation’ වෙත පැවසීය.

තවත් මානයකින් බැලීමේදී, මෙම සිතුවමෙන් යුද්ධයේ භීෂණය පමණක් ප්‍රකාශ නොකෙරේ. ඒ තුළ සංකේත, පෞද්ගලික කතාන්තර ගණනාවක් ඇත. විශිෂ්ඨ සිතුවමක් වීමට එය ප්‍රධාන හේතුවකි. බලවතුන්ගේ කෝපය තිබෙනුයේ, ඔවුන්ගේ අපරාධ හෙළිදරව් කරමින්, ඔවුන්ට වගකියන්නට සලස්වන නිර්භීත මිනිස්සුන්ටය. දෙවන ලෝක යුද්ධයේදී නගරය අත්පත් කරගැනීමෙන් පසු පිකාසෝද හිරිහැරවලට ලක්විය. දිනක්, ෆැසිස්ට් ‘ගෙස්ටාපෝ’ නිලධාරියෙක්, පිකාසෝගේ පැරීසියෙහි මහල් නිවාසයට කඩා වැදුණි. බිත්තිය සරසා තිබූ ‘ගුවර්නිකා’ සිතුවමේ ඡායාරූපය දුටු ෆැසිස්ට් නිලධාරියා විමසා සිටියේ, “පිකාසෝ චිත්‍රය නිර්මාණය කළාද?” යනුවෙනි. “නැහැ”, “ඔබ එය කළේ”යි පිකාසෝගේ පිළිතුර විය.

දීර්ඝ නමක් හිමිවූ පිකාසෝ

පැබ්ලෝ පිකාසෝ, ඉතා දීර්ඝ නමකට (පැබ්ලෝ ඩියාගෝ හොසේ ෆ්‍රාන්සිස්කෝ ද පවුලා හුආන් නෙපොමුසෙනෝ ක්‍රිස්පින් ක්‍රිස්පිනියානෝ මරියා රෙමෙඩියොස් ද ලා සැන්ටීසිමා ට්‍රිනිඩෑඩ් රූස් පිකාසෝ)  (Pablo Diego José Francisco de Paula Juan Nepomuceno Crispín Crispiniano María Remedios de la Santísima Trinidad Ruiz Picasso / Pablo Ruiz / Pablo Ruiz Picasso) හිමිකම් කියන්නෙකි. ඔහුගේ දිගු නම පැමිණෙන්නේ සාන්තුවරයන්ගේ සහ ඥාතීන්ගේ ලැයිස්තුවකිනි. 1881 ඔක්තෝබර් 25 දින ස්පාඤ්ඤයේ මලාගා නගරයෙහිදී පිකාසෝ ඉපදෙන්නේ ඉතා කුඩා සිරුරක් සහිතවය. ඔහු ඉතා කුඩා නිසාම හෙදිය සිතුවේ ඔහු මියගොස් ඇති බවය. එමනිසා, ඇය ඔහුගේ මව රැකබලා ගැනීමට යන අතරතුර, ඔහුව මේසයක් මත තබාගොස් තිබූ අතර, ඔහුගේ මාමා ‘දොන් සැල්වදෝර්’ පැමිණ ඔහුව මරණයෙන් බේරාගත්තේය. ඔහු මිමිණූ පළමු ස්පාඤ්ඤ වචනය ‘ලැපිස්’ (පැන්සල) ය. ඔහුගේ පියා කලාකරුවෙක්, චිත්‍ර ගුරුවරයෙක් සහ කෞතුකාගාර භාරකරුවෙක්ද විය. ඔහුට වයස අවුරුදු හතේදී චිත්‍රකලාව ඉගැන්වීම, පියා විසින් ආරම්භ කළේය. පැබ්ලෝ පිකාසෝ තම පළමු සිතුවම සම්පූර්ණ කළේ ඔහුගේ වයස අවුරුදු නවයේදීය. සිතුවමේ මාතෘකාව ‘ලෙ පිකාඩෝර්’ ය. රූපයේ දැක්වෙන්නේ ගොන් පොරයක අශ්වයෙකු පිට නැගී සිටින මිනිසෙකු ය. 1936 දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ වන විට, පිකාසෝගේ වයස අවුරුදු 54 ක් විය. පිකාසෝ, තම වැඩිහිටි ජීවිතයේ වැඩි කාලයක් ප්‍රංශයේ ගත කළේය. 1973 අප්‍රේල් 08 දින මියගිය අතර, මියයන විට ඔහු ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් සහ නාට්‍ය නිර්මාණකරුවෙක්ද විය.

ගුවර්නිකාසිතුවමේ දේශපාලන බලපෑම

පැරිසියෙන් පසු, සිතුවම ලෝක සංචාරයක් සඳහා යොමු විය. එය නගරයෙන් නගරයට ගෙනයන ලද්දේ යෝධ පලසක් මෙන් ප්‍රවේශමෙන් ඔතාගෙනය. වත්මන් ප්‍රදර්ශනයේ වීඩියෝවලින් වසර ගණනාවක් පුරා මෙයින් කලාකෘතියට සිදුකර ඇති හානිය පෙන්නුම් කරයි. ගුවර්නිකාව සෑම තැනකටම රැගෙන ගියේ, පලසක් ලෙස රෝල්කර වීමද ඊට හේතුවිය.

ජෙනරාල් ෆ්‍රැන්කෝ පන්නන තුරු,  රට සාමයෙන් හා නිදහසෙන් පිරෙන තුරු සිතුවම ස්පාඤ්ඤයට ගෙනයා නොහැකි බව පිකාසෝ නියෝගකර තිබූ අතර, එය 1943 දී නිව්යෝර්ක්හි නූතන කලා කෞතුකාගාරයේ ස්ථාපනය කිරීම ඊට හේතුවයි. සමහරවිට එය ණයට ලබාගෙන වී නමුත්, 1981 දී ස්පාඤ්ඤ අගනුවර ඊට නිවහනක් සොයා ගැනීමට කාලය පැමිණ ඇති බැව් තීරණය කරන තෙක්, එය නිව්යෝර්ක් නගරයේ නූතන කලා කෞතුකාගාරයෙහි (MoMA) භාරකාරත්වය යටතේ පැවතුණි. පසුව ගුවර්නිකා ස්පාඤ්ඤයට රැගෙන යන ලදී. ගුවර්නිකාගේ පැරිසියේ සිට මැඩ්රිඩ් දක්වා වූ ගමන පිළිබඳ කතාව, එහි ප්‍රදර්ශනය පමණක් නොව, යුද්ධයට සහ පීඩනයට එරෙහි, ලෝක සාමය සඳහා ලොව පුරා විරෝධතා දැක්වීම වෙනුවෙන් එම සිතුවම භාවිතාකර ඇති ආකාරයද පෙන්වයි.

පළමු ලෝක යුද්ධය, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය හෝ දෙවන ලෝක යුද්ධය අතරතුර ඔහු කිසිදු පැත්තක් හෝ රටක් සඳහා සන්නද්ධ හමුදාවන්ට සම්බන්ධ වූයේ නැත. ගුවර්නිකාට පෙර, පිකාසෝ කිසි විටෙකත් ඔහුගේ කලාවේ දේශපාලන තේමාවන් ආමන්ත්‍රණය කර නොතිබුණි. යුද්ධ, පිකාසෝගේ පළමු ප්‍රසිද්ධ දේශපාලන කාර්යය සඳහා පෙළඹවීමක් ලබා දුන්නේය.

නිව්යෝර්ක් නගරයේ නූතන කලා කෞතුකාගාර අධ්‍යක්ෂක, ‘ඇල්ෆ්‍රඩ් බාර්’ යටතේ, ඒ කාලය තුළ  පිකාසෝගේ ප්‍රධාන කෘති පිළිබඳ ආපසු හැරී බැලීමක් කළේය. මෙය පිකාසෝව වීරයෙකු බවට පත්කළ අතර, ඔහුගේ කලාත්මකභාවයේ විෂය පථය, ඇමරිකාවේ පූර්ණ මහජන දැක්මට රැගෙන ආහ. සමකාලීන කලා ඉතිහාසඥයින් සහ විද්වතුන් විසින් ඔහුගේ කෘති නැවත අර්ථකථනය කිරීම ආරම්භ කෙරිණ. ඇමරිකානු කලාකරුවෙක් සහ කලා ඉතිහාසඥයෙක් වන ‘ජොනතන් වෙයින්බර්ග්’, “ප්‍රදර්ශනයේ අසාමාන්‍ය ගුණාත්මකභාවය සහ පිකාසෝගේ දැවැන්ත කීර්තිය, සාමාන්‍යයෙන් ගුවර්නිකාගේ දේශපාලන බලපෑමෙන් ඉහළ ගොස් ඇති බැවින්…. විචාරකයින් පුදුම සහගත ලෙස කැළඹීමට පත්ව සිටියා” යි පැවසීය. 20 වන සියවසේදී පැබ්ලෝ පිකාසෝ බටහිර කලාවේ ආධිපත්‍යය දැරූ බවත්, එය පැවසීම මේ වනවිට ඉතා සුළු දෙයක් බවට පත්ව ඇතැයිද කලා විචාරකයෝ පවසති.

පිකාසෝ කොමියුනිස්ට්වාදය දෙසට

1940 දී පිකාසෝ ප්‍රංශ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ නමුත්, ඔහුගේ “කොමියුනිස්ට්වාදය දෙසට පරිණාමය වන රැඩිකල්වාදී අදහස්” හේතුවෙන් එය ප්‍රතික්ෂේප විය. මෙම තොරතුරු 2003 වන තෙක් හෙළි නොවිණි.

ඔහුගේ එකම කැපවීම තමා වෙනුවෙන් වූ අතර, ඔහුගේ දක්ෂතාවය නිසා කලාව හෝ පෞද්ගලික සබඳතා ඇතුළුව, බැඳී සිටින නීති රීති පිළිපැදීම, ඔහුට නිදහසට කරුණක් වූ බව විශ්වාස කෙරිණි. දේශපාලන ක්‍රියාකාරකම්වලට ප්‍රමාද වූ අයෙකු වූ අතර, එය වැළඳගත්තේ ඔහුගේ  වයස 50 ස් ගණන්වලදීය. ඔහු වාමාංශිකයෙකු බවට පත්වීමෙන් පසුව, 1944 දී පිකාසෝ ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධවීම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළේය. ඇමරිකානු මාක්ස්වාදී ප්‍රකාශනයක් වන ‘ද නිව් මෑසස්’ 1945 සංස්කරණයෙහි ඔහුගේ තීරණය පිළිබඳ ප්‍රකාශනයක් ප්‍රසිද්ධියට පත්කළේය. “මම කොමියුනිස්ට්වාදියෙකු වී සිටිමි, මන්ද අපගේ පක්ෂය … මිනිසුන් … නිදහස් හා සතුටින් තැබීමට උත්සාහ කරන බැවිනි” යනුවෙන් පිකාසෝ ලිවීය. ඔහුගේ සමකාලීනයන් කිහිප දෙනෙකු ඔහුගේ පරිවර්තනය බැරෑරුම් ලෙස සැලකීම ප්‍රතික්ෂේප කළද, සැල්වදෝර් ඩාලි වරක් “පිකාසෝ කොමියුනිස්ට්වාදියෙක් වන අතර මම එහෙම නැහැ” යනුවෙන් උපහාසයෙන් පැවසීය. පිකාසෝ “හැඟීම්බර” කොමියුනිස්ට්වාදියකු ලෙස හැඳින්වූ අතර “ඔහු කිසි විටෙකත් කාල්මාක්ස් හෝ එංගල්ස්ගේ පොතපත කියවා නැත” යනුවෙන් පවසා ඇත. 1945 දී කළ තවත් සම්මුඛ සාකච්ඡාවකදී, පිකාසෝ මෙසේ පැවසීය, “මම කොමියුනිස්ට්වාදියෙක් වන අතර මගේ සිතුවම කොමියුනිස්ට් සිතුවමකි.…” කෙසේ වෙතත්, එකල බුද්ධිමතුන් සහ කලාකරුවන් අතර පොදු වූ කොමියුනිස්ට්වාදය කෙරෙහි තිබූ කැපවීම නිතර කැපී පෙනිණ.

“ගුවර්නිකා” චිත්‍ර කොටස්, යුද්ධයට විරුද්ධව ආයුධ ලෙසට ලොව සැමතැනම පෝස්ටර් සඳහා භාවිත කෙරිණි. කොමියුනිස්ට්වාදියෙකු ලෙස, පිකාසෝ කොරියානු යුද්ධයේදී, එක්සත් ජාතීන්ගේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමට විරුද්ධවූ අතර “කොරියාවේ සංහාරය” පින්සලෙන් නිර්මාණය කළේය. කලා විචාරක ‘කර්ස්ටන් හෝවින් කීන්’ ලිව්වේ, එය “ඇමරිකානු කුරිරුකම් පිළිබඳ වාර්තා වලින් ආභාසය ලැබූ” බවත්, එය පිකාසෝගේ “කොමියුනිස්ට් කලා කෘතිවලින් එකක්” ලෙස සැලකූ බවත්ය. වියට්නාම් යුද්ධයේදීද දැඩි විරුද්ධවාදියෙකු බවට ඔහු පත්විය. දේශපාලනයේද, කලාවේ භූමිකාව ගැන විමසූ විට, ඔහු වරක් පිළිතුරු දුන්නේ “චිත්‍ර නිර්මාණයකර ඇත්තේ මහල් නිවාස අලංකාර කිරීම සඳහා නොවේ” “එය සතුරාට එරෙහිව ප්‍රහාරාත්මක සහ ආරක්ෂක අවියකි” යනුවෙනි. 1949 ලෝක සාම කවුන්සිලයේ පෝස්ටරයක් සිතුවම් කිරීම කරන ලද අතර එය “සාමයේ පරෙවියා” ලෙස හැඳින්වෙන සීතල යුධ සමයෙහි නිරූපක චිත්‍රයක් බවට පත්විය. එම චිත්‍රය සාමයේ සංකේතයක් ලෙස ලොවපුරා සාම ව්‍යාපාර විසින් භාවිතා කරන ලදී. ඔහු 1948 දී පෝලන්තයේ පැවති ලෝක සාම සම්මේලනයට සහභාගී වූ අතර, 1962 දී ඔහුට සෝවියට් සංගමයේ ඉහළම සම්මානයක් වන ‘ලෙනින් සාම ත්‍යාගය’ හිමිවිය. ඔහු මිය යන තුරුම කොමියුනිස්ට් පක්ෂයේ පක්ෂපාතී සාමාජිකයෙකු ලෙස සිටියේය.

කලාව යනු අපට සත්යය අවබෝධ කර දෙන බොරුවකි

1955 දී, නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දොරටුව සැරසීමට, ‘ජැකලින් ඩර්බාච්’ විසින් නිර්මාණය කරන ලද පිකාසෝගේ “ගුවර්නිකා” සිතුවමේ පටි අනුරුවක් එල්ලා තිබිණ. 2003 පෙබරවාරි 05 දින, ඇමරිකානු රාජ්‍ය ලේකම් ‘කොලින් පවෙල්’, ඉරාකයේ විනාශකාරී රසායනික අවි පිළිබඳ අසත්‍ය මෙන්ම, ඇමරිකාවේ ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සඳහා මහා මණ්ඩලයට බොරු ගොතන ලද අදහස් දැක්වීමට නියමිතව තිබිණ. ඊට පෙර එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය විසින් ගුවර්නිකා අනුරුව නිල් පැහැති රෙද්දකින් ආවරණය කළ අතර එය ලොවපුරා කෝපය ඇති කළේය.

එය අපට මතක්කර දෙන්නේ 1923 දී පිකාසෝ විසින් මෙක්සිකෝ කලාකරු, මාධ්‍යවේදී ‘මාරියස් ද සයාස්’ ට පැවසූ, “කලාව යනු අපට සත්‍යය අවබෝධ කරදෙන බොරුවක්” බවයි. ඉරාකයට එරෙහි යුද්ධයට හේතු ලෙස ඇමරිකා එක්සත් ජනපදය පැවසූ බොරුවලට, “ගුවර්නිකා” පසුබිම වැසිය නොහැක. හමාස් විනාශ කිරීමේ මුවාවෙන් පලස්තීනයේ ගාසා තීරයට බෝම්බ හෙළීම, න්‍යෂ්ටික ආයුධ මුවාවෙන් ඉරානයට බෝම්බ හෙළීම තුළ යුද්ධයේ කුරිරුකම සජීවීව ම ලොවපුරා මිනිසුන් තම දෑසින්ම දකින මේ යුගයේ, පිකාසෝ සිටියා නම් කියා අපට සිතේ. ‘බොරු’ යුද්ධයට මග පාදන අතර පසුව භීෂණය මිනිස්සුන්ගෙන් වසා දැමීමට ‘බොරු’ අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ඔහුගේ කෘතිය යුද්ධයට එරෙහිව දැඩි හෙළා දැකීමේ පණිවිඩයක් සහ එහි විනාශකාරී ප්‍රතිවිපාක පැහැදිලිවම ගෙන එනු ලබයි.

දේශපාලන කලාවේ ප්‍රකාශනයක් ලෙස , ගුවර්නිකා කිසිසේත්ම තනිවී නැත. නමුත් පිකාසෝ කළ ආකාරයට අන්ධකාරයේ බලවේගයන්ට එරෙහි සටනේදී, නූතනවාදය බලමුළු ගැන්වූ කිසිවෙකු අද නැත. අද, අධිකාරීවාදයේ අවතාරයන් අලුතින් නැඟී එනවිට, කිසිදා නොවූවිරූ ලෙස  “ගුවර්නිකා” අදාළ වේ.

ජයන්ත වැලිවිට

(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top