මේ වනවිට දිවයිනට අලුතින් ඉන්ධන නෞකාවක් පැමිණ ඇති අතර, එමඟින් මෙට්‍රික් ටොන් දහස් ගණනක පෙට්‍රල් සහ ඩීසල් තොග බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසයි.
ඇණවුම් කර ඇති අනෙකුත් නෞකා ද නියමිත පරිදි දිවයිනට ළඟා වෙමින් පවතින බවයි කළමනාකරණ අධ්යක්ෂවරයා සදහන් කරන්නේ.
පිරවුම්හල් සහ බස් ඩිපෝ වෙත ඉන්ධන සැපයීම විධිමත් කර ඇති අතර, QR ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීමට ද පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, පුද්ගලික දත්ත සොරාගනිමින් ව්‍යාජ QR කේත සකසන වංචනික වෙබ් අඩවි පිළිබඳව බලධාරීන් මහජනතාවට දැඩි ලෙස අනතුරු අඟවයි.
එම නිසා රජයේ නිල වෙබ් අඩවියෙන් බැහැරව කිසිදු පාර්ශ්වයකට තොරතුරු ලබා නොදෙන ලෙසත්, පාරිභෝගික ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙසත් මෙහිදී අවධාරණය කෙරේ. නියමිත QR බලපත්‍රය සුරක්ෂිත කර ගැනීම සඳහා සැමවිටම නිල උපදෙස් පමණක් අනුගමනය කළ යුතු බව පෙන්වා දෙයි.
“අද උදෑසන 10.00 වෙනකොට තව එක නෞකාවක් කොළඹ වරායට සේන්දු වුණා. මේ වෙද්දි අපේ නිලධාරීන් නැවට ගොඩවෙලා සාම්පල පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවෙන් පස්සේ අද දිනයේම ගොඩබාන්න පටන් ගන්නවා. එහි අපිට ලැබෙනවා ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ පෙට්‍රල් 17,000ක් සහ සුපරි ඩීසල් 3000ක්. ඒ වගේම අපි ඇනවුම් කළ නෞකාවන් සුපුරුදු පරිදි සේන්දු වීමට තිබෙනවා කොළඹ වරායට. ඊට අමතරව අද දිනය වෙනකොට CPC එකට ඇනවුම් 616ක් LIOC එකට ඇනවුම් 204ක් සහ සිනොපැක් එකට 247, ආර්.එම් පාර්ක් එකට 248ක් වශයෙන් ඇනවුම් ලැබිලා තියෙනවා. ඒ අනුව අපි සියලුම ස්ථානවලට ඇනවුම් බෙදා හැරීම සිදුකළා. ඒ වගේම ඊයේ දිනයේ පැවැති සාකච්ඡා අනුව මගි බස් රථ සඳහා ඩිපෝවලින් තෙල් දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව උදේ පාන්දරම ඩිපෝ සඳහා තෙල් බවුසර් පිටත් කර හැරියා. ඒ වගේම මේ වෙද්දි අපි ක්‍රියා කරමින් ඉන්නවා වාහන සහ මොබයිල් නම්බර්ස් මාරු කරලා රෙජිස්ටර් වෙන්න බැරිවුණ අයගේ ප්‍රශ්න විසඳන්න. නමුත් ඒ අතර කියන්න ඕනේ මේ වෙද්දි අපිට දැකගන්න හම්බුණා ව්‍යාජ එකවුන්ට් හදලා තියනවා ඛනිජ තෙල් සංස්ථාව නමින් ඒ එකවුන්ට්වලින් උත්සාහ ගන්නවා නොයෙකුත් දත්ත රැස් කරන්න. සමහරු සියලු තොරතුරු ගන්නවා අරන් අනුන්ගේ නම්වලට QR කෝඩ් හදාගන්න උත්සාහ ගන්නවා. ඒක නිසා fuelpass.gov.lk කියන වෙබ් අඩවියට හැර වෙනත් කිසිම වෙබ් සයිට් එකක් අපි පබ්ලිශ් කරලා නෑ. ඒ කිසිම එකකට දත්ත ලබා දෙන්න එපා. එහෙම කරලා ඒ අය වෙනම පාස් එකක් හදාගන්නවා. එතකොට ඔබට පාස් එකක් හදා ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා.” උඅනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.





