පිලිපීනයේ යෝධ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් 30කට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිය ගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණියක් වන අතර අනතුරට මුහුණ දුන් තවත් සනීපාරක්ෂක සේවකයින් 12ක් බේරාගෙන රෝහල් ගත කර ඇතැයි සඳහන්.
එලෙස කඩා වැටි ඇත්තේ පිලිපීනයේ සෙබු නගරයේ බිනාලිව් කුණු කන්දය. බිනාලිව් කුණු කන්ද හෙක්ටයාර 15 ක් (අක්කර 37) පමණ භූමි ප්‍රමාණයක විහිදී පවතින බව සඳහන්.
අතුරුදහන් වූවන්ගෙන් බොහෝ දෙනෙක් කුණු කන්දේ සේවකයින් යැයි විශ්වාස කෙරෙන අතර තවදුරටත් එය කඩා වැටීමේ හැකියාව පවතින බවද සෙබු නගරාධිපතිවරයා මාධ්‍ය වෙත පවසා තිබේ.
කඩා වැටීමට හේතුව තවමත් පැහැදිලි නැති බව දැක්වෙන නමුත් සෙබු නගර සභා මන්ත්‍රී ජොයෙල් ගාර්ගනේරා පවසා ඇත්තේ එය දුර්වල අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත්වල ප්‍රතිඵලයක් විය හැකි බවයි.
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් රජයේ ආයතන සහ සිවිල් කණ්ඩායම්වලින් 300 ක් පමණ යොදවා ඇති බවද දැක්වෙයි. කැණීම් යන්ත්‍ර, ගිලන් රථ සහ ගිනි නිවන රථ කිහිපයක් ද එම ස්ථානයේ රඳවා තිබේ.
මෙය අනෙකුත් නාය යෑමකදී මෙන් ගලවා ගැනීම් කළ නොහැකි අතර ඉහළ සිට ඇද දැමුවහොත් පතුල මෘදු හෙයින් තවදුරටත් තත්ත්වය නරක අතට හැරීමේ හැකියාව පවතියි.
මේ වන විට වාර්තා වන තොරතුරු අනුව එම කසල රඳවනය සනීපාරක්ෂක කසළ රඳවනයක් නොවන අතර විවෘත කුණු කන්දක් බව දැක්වෙයි.







