/ Jan 23, 2026

මදුරුවා බයික් හිමියන්ට අඳුරු දසාවක් : රජයට ලණුවක් ගිල්ලුවේ කවුද?

මදුරුවා යන අන්වර්ථ නාමයෙන් මෙරට ප්‍රචලිත වූ එන්ජින් ධාරිතාව 48සීසී කාණ්ඩයේ හෝ ඊට අඩු යතුරුපැදි (මොෆෙඩ්) හිමියන් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බැව් පැවසේ.

මෙම යතුරු පැදි හඳුන්වා දුන් යුගයේ ලියාපදිංචිය අනවශ්‍ය බව කියා සිටි අතර මේවා බොහෝමයක් මිලදී ගෙන ඇත්තේ, ගම්බද පහළ ආර්ථිකයක් සහිත ජනතාවයි. විශේෂයෙන් ගොවි ජනතාව මෙම යතුරුපැදියේ පිහිටෙන් බොහෝ කටයුතු කරගනිති. මෙතෙක් කලක් බලපත්‍ර අවශ්‍ය නැති යතුරුපැදි ලෙස සලකා කටයුතු කළ මේවායේ ලියාපදිංචිය පරීක්ෂා කරන පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනා බව මෙම යතුරුපැදි හිමියෝ චෝදනා කරති.

වසර 10-15 තරම් පැරණි මේ යතුරුපැදිවල මිලදී ගත් ලදුපත් ආදිය සොයාගැනීමට නොහැකිවීම පිළිගත හැකි තත්වයකි. එසේ ම මේවා ලියාපදිංචි කිරීම කරන්නට ලියකියවිලි ඇති අයට පවා ඒ සඳහා නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ම යෑමටත් පසුව තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යෑමටත් නැවතත් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තම්න්තුව වෙත යෑමටත් වශයෙන් දුෂ්කර ක්‍රියාවලියක් සිදු කිරීමට සිදුව තිබෙන බව මෙම යතුරුපැදි හිමියෝ චෝදනා කරති.

මොෆෙඩ් යතුරුපැදි මිලට ගෙන භාවිත කරමින් සිටින්නේ, ගොවියන්, විශ්‍රාමිකයන්, පහළ ආදායම් ලබන අයවලුන් නිසාවෙන් මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දුෂ්කරකම ඔවුන්ට බොහෝ ගැහැට දෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

වසර 15ක් පමණ තිස්සේ, අවුලක් නැතිව ධාවනය කළ මේ යතුරුපැදි සම්බන්ධයෙන් එක්කෝ රජයට කිසිවෙකු ලණුවක් ගිල්ලවා තිබේ. එසේ නැත්නම්, මේවා ලියාපදිංචි කිරීම කෙරෙහි ඉතා පහසු ක්‍රමවේදයක් හඳුන්වා දීම රජයේ වගකීමයි. මන්ද කාලයක් තිස්සේ මේවාට බලපත්‍ර අවශ්‍ය නැතැයි යන්න පත් වූ සෑම රජයක්ම නෑසු කන්ව ඉවසා ඇති බැවිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top