ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබා දුන් සිරකරුවන්ට අමතරව වෙනත් සිරකරුවන් කිහිප දෙනෙකු ද අනීතික ලෙස නිදහස් කර ඇති බවට ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර තිබුණි.
ඒ පසුගිය 6 වැනිදා ය.
එම පැමිණිල්ල ප්‍රකාරව විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ද මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ද නියමිතව ඇති බවයි.
මේ දක්වා සිදුකළ විමර්ශන අනුව මෙම පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතින බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
විමර්ශන වලදී හෙළිදරව් වූ කරුණු අනුව මීට පෙර ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවටත් තොරතුරු හෙළිදරව් වී ඇතැයි පොලිසිය පෙන්වාදෙයි.
බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණය මගින් වරදකරුවන් වූ පුද්ගලයින් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.